ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට සිරස ටීවී ගොට් ටැලන්ට් මුදල් ත්‍යාගය ප‍්‍රදානය කෙරේ
6:57am on Wednesday 14th November 2018
පළමු වතාවට පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රූපවාහිනී රියැලිටි වැඩ සටහනේ ජයග‍්‍රාහකයින් වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට ඔවුන්ට හිමි මුදල් ත්‍යාගය ප‍්‍රදානය කිරීම පසුගියදා 2018 නොවැම්බර් මස 12 වන දින කැපිටල් මහරාජා මූලස්ථානයේදී සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් එම ත්‍යාග මුදල් භාර ගන්නා ලද අතර කැපිටල් මහරාජා අයතනයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර කණ්ඩායම් අධ්‍යක්‍ෂිකා නීද‍්‍රා වීරසිංහ මහත්මිය විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට ත්‍යාග මුදල් ප‍්‍රදානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම අජන්ත මහන්තාරච්චි විසින් මෙහෙයවන ලද අතර මෙම වැඩසටහනේදී ඨීඑම් ඩිල්ෂාන් මහතා විසින් ගෝල්ඩන් බසර් අවස්ථාව ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට ලබාදීම මගින් ඔවුන් සෘජුවම සජීවී අදියර දක්වා ගෙනයන ලදී. 2018 සැප්තැම්බර් මස 30 වන දින රත්මලාන ස්ටේන් මැදිරියේ පවත්වන ලද අවසන් අදියරේදී කණ්ඩායම් හයක් සමග තරඟ වදිමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම පළමු වතාවට පවත්වන ලද ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් ජයග‍්‍රාහකයින් බවට පත්විය.

ත්‍යාග ප‍්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන්, සිරස ටීවී ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ අංගම්පොර කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි