ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වෙනි ගුවන් හමුදාධිපතිතුමන් රාජකාරි අරඹයි
10:14am on Sunday 2nd June 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වෙනි ගුවන් හමුදාධිපති වශයෙන් පත්වීම් ලද එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 මැයි මස 30 වන දින සිය ධූරයේ රාජකාරීන් සුභ මොහොතින් ආරම්භ කළේය. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ  ජනාධිපති අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙන් තමන්ට පැවරී ඇති බලතල ප‍්‍රකාරව 2019 මැයි මස 29 වන දින ගුවන් හමුදාධිපතිතුමන් හට එයාර් මාර්ෂල් නිළයට උසස්වීම් ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගුවන් හමුදාධිපති සම්මාන පෙළපාලියක් මගින් නව ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර දැක්වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 17වෙනි ගුවන් හමුදාධිපතිතුමන් වශයෙන් පළමු වරට ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ඇමතුවේය. සියළුම ගුවන් හමුදා කඳවුරු වල සිටින නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් හට එම අවස්ථාව නැරඹිම සඳහා සියළුම ගුවන් හමුදා කඳවුරු වලදී එය සජීවීව විකාශනය කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාව ඇමතූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ගුවන් හමුදාවේ 17 වෙනි ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් තමන් පත්කිරීම පිළිබඳව අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් හට සිය ස්තුතිය පළකරනු ලැබූ අතර මෙම පදවිය ඔහු වෙත පැවරී ඇති වගකීමක් බව තමන් විශ්වාස කරන බවද ප‍්‍රකාශ කරන ලදී. එසේම ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කරන බවට ප‍්‍රතිඥා දුන්නේය. එසේම වසර 68 කට පසු අද වන විට ගුවන් හමුදාව ලබා ඇති දියුණුව පිළිබඳව ගුවන් හමුදා සාමාජිකයින් ලෙස සියල්ලන්ටම සතුටු විය හැකි බවද පැවසීය.

එසේම මාතෘ භූමියට එල්ල විය හැකි සියළුම සතුරු ප‍්‍රහාරයන් පිළිබඳව ගුවන් හමුදාවේ වගකීම සහ කාර්යභාරය පිළිබඳවද නව ගුවන් හමුදාධිපතිතුමන් සිය අදහස් ප‍්‍රකාශ කරන ලදී. එසේම එකම ධජයක් යටතේ සහෝදරත්වයළ සාමය සහ සංහිඳියාවෙන් පොහොසත්ව එකම ජාතියක් වශයෙන් ඉදිරියට යාම සඳහා ගුවන් හමුදාව සිය සහාය ලබාදෙන බවට මෙහදී ප‍්‍රතිඥා දුන්නේය.

මෙහිදී නව ගුවන් හමුදාධිපතිතුමන් විස්න ගුවන් හමුදාධජය ගුවන් හමුදා නාමය ඉහල තලයකට ඔසවා තැබීම සඳහා තමන් සමග එක්ව ඉදිරි කටයුතු සිදු කිරීමට සියළුම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ට ආරධනා කළේය. එසේම එතුමන් විසින් ගුවන් හමුදාවේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් හට සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ ආනාගතයක් තමන් ප‍්‍රාර්ථනා කරන බවද පැවසීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි