නව විධායක ප‍්‍රධාන බලලත් නිළධාරී රාජකාරි භාරගනි
10:14am on Friday 28th June 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන විධායක ප‍්‍රධාන බලලත් නිළධාරී තනතුරට පත්වූ ප‍්‍රධාන බලලත් නිළධාරී එස්එම්එන්පී සමරකෝන් 2019 ජූනි මස 24 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති පෙළපාලියක් මගින් රාජකාරීන් භාරගත්තේය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු විධායක ප‍්‍රධාන බලලත් නිළධාරී, ප‍්‍රධාන බලලත් නිළධාරී ජීජීඑම් රංජිත් කුමාර විසින් එම ධුරයෙහි රාජකාරීන් ප‍්‍රධාන බලලත් නිළධාරී සමරකෝන් හට මෙහිදී නිළ වශයෙන් භාර දුන්නේය.

ප‍්‍රධාන බලලත් නිළධාරී සමරකෝන් 1997 වසරේ නොවැම්බර් මස 17 වන දින මෙහෙයුම් භූමි වෘත්තියේ ගුවන් භටයෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්විය. 2009 වසරේදී අවි පුහුණු උපදේශක පාඨමාලාවද 2011 වසරේදී සරඹ පුහුණු උපදේශක මාලාවද සාර්ථකව හදාරන ලදී. විධායක ප‍්‍රධාන බලලත් නිළධාරී තනතුරෙහි වැඩ භාර ගැනීමට ප‍්‍රථම ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ රෙජිමේන්තු බලලත් නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

විධායක ප‍්‍රධාන බලලත් නිළධාරී තනතුර 2017 වසරේ ජූලි 12 වන දින ගුවන් හමුදාවේ ස්ථාපිත කරන ලදී. මෙම තනතුර සඳහා ගුවන් හමුදාවේ  සුදුසුකම් ඇති ජ්‍යේෂ්ඨතම ගුවන් භටයා තෝර පත්කර ගනු ලබන අතර ඔහු ඍජුවම ගුවන් හමුදාධිපතිතුමන් හට වාර්තා කල යුතු වෙයි. ගුවන් හමුදාවේ සෙසු නිළයන් සහ විධායක ශ්‍රේණියේ නොවන සිවිල් කාර්යමණ්ඩලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු සහ සුභසාධක කටයුතු පිළිබඳව වගකීම විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා සතු වෙයි.

මෙම රාජකාරි භාරගැනීමේ පෙළපාලිය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි