අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය රීදි ජුබිලිය සමරයි
8:31pm on Friday 27th September 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2019 සැප්තැම්බර් මස 23 වන දින සිය රීදි ජුබිලිය සමරනු ලැබීය.අංක 07 හෙලිකොප්ටර් බලඝනය හෙලිකොප්ටර් නියමුවන්ගේ තොටිල්ල ලෙස හදුන්වන අතර බෙල් 212 සහ බෙල් 206 ගුවන් යානා සමගින් 1994 සැප්තැම්බර් මස 23 වන දින අංක 401 බලඝනය ලෙස ආරම්භ කරන ලද මෙම බලඝනය 1996 මාර්තු මස 23 වන දින අංක 07 බලඝනය ලෙස නම් කරන ලදී.

අංක 07 බලඝනයේ ආරම්භයේ සිටම ගුවනේ පියාසර කරමින් දිවි රූ වෙහෙසෙමින් යුද්ධය නිමා කිරිමටත් සාමය ආරක්ෂා කිරීමටත් ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර එය ප්‍රාථමික හා ද්විතීයික නියමු පුහුණුව, ගුවන් තුවක්කුකරුවන්ගේ පුහුණුව ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා යුද අභ්‍යාස පුහුණුව සහ ගුවන් යානා නඩත්තු පුහුණුව සඳහා පුහුණු බළකායක් ලෙස කටයුතු කරන ලදී.මානුෂීය මෙහෙයුමේදී අංක 7 බලඝණය ලබා දුන් සහයෝගය අසමසම වූ අතර ජාතික වියසන කාලවලදී සිවිල් වැසියන්ට සහයෝගය දැක්වීමේදී එය සැමවිටම මූලිකව කටයුතු කරන ලදී.එමගින් ජාතියට කළ විශිෂ්ට සේවය වෙනුවෙන් අංක 7 බලඝණයට මේ වසරේ ජනාධිපති වර්ණ පිරිනමන ලදි.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින වැඩ පෙළපාලිය කඳවුරු සරඹ පිටියේදී අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඩිඑස්එස් ගුණවර්ධන ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ. පෙළපාලිය අවසානයේ බලඝණයේ අණදෙන නිළධාරීතුමන් සියලුම දෙනා අමතමින් බලඝණය නගා සිටුවීම සඳහා දායකත්වය දැක්වීම වෙනුවෙන් සියලු දෙනාට ඔහුගේ අවංක ස්තුතිය පළකල අතර බලඝණයේ සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සුබ ප්‍රර්ථනා කළේය.

පසුව බලඝණයේ සියලුදෙනාගේම සහභාගීත්වයෙන් බලඝන සුහද හමුව  පැවැත්විණ. ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන්එච්ඩීඑන් ඩයස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.  

මෙහිදී එදා සිට අද දක්වා අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ සේවය කල එහි සාර්ථකත්වය හා ගෞරවය වෙනුවෙන් මෙන්ම ජාතිය වෙනුවෙන් උත්තරීතර කැපවීමක් කල අය ද සිහිපත් කෙරිණ.

බලඝනයේ ඉදිරි වැඩකටයුතු සහ එහි කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම උදෙසා ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සදහා බෝසත් පන්සලේ බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි