ගුවන් හමුදා 69 වන සංවත්සර සැමරුම සහ ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්චාවක්
9:19am on Wednesday 4th March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 69 වන සංවත්සර සැමරුම සහ 21 වන ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2019 පෙබරවාරි මස 20 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 69 වන සංවත්සරය 2020 මාර්තු මස 2 වන දින සමරනු ලබයි. මෙම වසරේදී ගුවන් හමුදා දින සැමරුම් වැඩසටහන් මාලාව මාර්තු මස 01 වනදා සිට විවිධ වැඩසටහන් රාශියක් ඔස්සේ සැමරීමට කටයුතු යොදා තිබේ.

69 වන ගුවන් හමුදා සංවත්සරය 2020 මාර්තු මස 01 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන 'පිච්ච මල් පූජාව' වැඩසටහනින් ආරම්භ වීමට නියමිතය.

මාර්තු මස 02 වන දින ගුවන් හමුදා දින සංවත්සරය කොළම ගුවන් හමුදා මූලස්ථානය මූලික කොට ගනිමින් පැවැත්වෙන අතර ගුවන් හමුදා සියළුම කඳවුරු සහ ඒකකයන් ද එයට සමගාමීව සැමරුම් දින උත්සව පවත්වනු ලබයි. ගුවන් හමුදා දින සැමරුම් පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වනු ලබයි. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් සියළුම නිලයන් අමතා ගුවන් හමුදා දින සැමරුම් ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර එම ප‍්‍රකාශය සජීවීව සියළුම කඳවුරු සහ ඒකකයන්හි විකාශනය කෙරේ.

ගුවන් හමුදා සංවත්සර දිනයට සමගාමීව නොකඩවා 21 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 මාර්තු මස 05 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භවීමට නියමිත වෙයි.  පිරිමි තරඟය 2020 මාර්තු මස 05,06 සහ 07 යන තෙදින පුරා පැවැත්වේ. කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වන තරඟය නුවර, ත‍්‍රිකුණාමලය, වව්නියාව සහ අනුරාධපුරින් අවසන් වන අතර එය  කි.මී. 445 ක දුරකින් යුක්තු වෙයි. මේ සඳහා දෙස් විදෙස් පාපැදි තරඟකරුවන් 100 අධික ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර 30 කට අධික කාන්තා තරඟකාරියන් පිරිසක් කාන්තා තරඟය සඳහා සහභාගී වීමට නියමිතය.

තරඟයේ ත්‍යාග ප‍්‍රදානෝතසවය 2020 මාර්තු මස 07 වන දින සවස 1800 පැයට අනුරාධපුර පොදු ක‍්‍රීඩාංගනයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වෙයි.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක සහ පාපැදි සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, පාපැදි සංචිත ලේකම් එයාර් කොමඩෝර් කිත්සිරි ලීලාරත්න, වැඩබලන මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ, සොෆ්ට් ලොජික් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී මොහොමඩ් රිස්වි මහතා, සොෆ්ට් ලොජික් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂක අජිත් ප‍්‍රියශාන්ත මහතා සහ ශ‍්‍රී ලංකා රූපවාහිනී ආයතනයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක පාලිත සෙනරත් මහතා මාධ්‍ය හමුව සඳහා සහභාගී වූහ. විද්‍යුත් සහ මුද‍්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙවර තරඟාවළියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සොෆ්ට් ලොජික් ආයතනය විසින් ලබාදෙනු ලබන අතර සොෆ්ට් ලොජික් ලයිෆ්  ආයතනය රක්‍ෂණ  අනුග‍්‍රහවශයෙන් කටයුතු කරනු ලබයි. ශ‍්‍රී ලංකා රූපවාහිනී ආයතනය විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබාදෙනු ලබයි. මාධ්‍ය හමුව අවසානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහක සොෆ්ට් ලොජික් ආයතනය විසින් ලබාදෙනු ලබන අනුග‍්‍රාහක චෙක්පත ගුවන් හමුදාධිපතිතුමන් වෙත ප‍්‍රදානය කිරීම එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී මොහොමඩ් රිස්වි මහතා විසින් සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි