ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කරන සංක‍්‍රමණ කණ්ඩායම් නිරීක්ෂණයට ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්
11:28am on Saturday 18th April 2020
කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මෙන්ම ශ‍්‍රී ලංකාව ද සියළු ජාත්‍යන්තර ගුවන් ගමන් මෙන්ම ජාත්‍යන්තර නාවික කටයුතුද මේ  වනවිට සම්පුර්ණයෙන්ම නවතා ඇති අතර ගුවනින් හෝ මුහුදින් කිසිවකු  අනවසරෙන් රට තුලට ඇතුළුවීම වැලැක්වීමේ වගකීම ගුවන් හමුදාව හා නාවික හමුදාව වෙත ගරු ජනාධිපතිතුමන් විසින් පවරා ඇත.
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ  උපදෙස් මත ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාව සමග එක්ව ශ‍්‍රී ලංකාව වටා මුහුදේ හා වෙරල තීරයේ  සමුද‍්‍රීය නිරීක්ෂණ කටයුතු ගුවන් හමුදාවට අයත් වයි -12  ගුවන් යානා යොදා ගනිමින් දෛනිකව සිදු කරනු ලබයි.
 
ශ‍්‍රී ලංකාව වටා මුහුදේ සැක කටයුතු නාවික කණ්ඩායම් හා මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරටට ඇතුල්වීමට උත්සහා කරන සංක‍්‍රමණික කණ්ඩායම් පිළිබඳ තොරතුරු ගුවන් යානය මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කිරීම කරනු ලබයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මන්නාරම සිට කන්කසන්තුරෙයි දක්වා මුහුදු තීරයේ  මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර මෙම නිරීක්ෂණ ගුවන් යානා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයෙන් හා ගුවන් හමුදා රත්මලාන මුලික කඳවුරෙන් නිරීක්ෂණ කටයුතු සඳහා පිටත් කර හරිනු ලබයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉහත මෙහෙයුම් වලට අමතරව මුලු දිවයිනම ආවරණය වන පරිදි දිවයින ප‍්‍රධාන කොටස් 8 කට බෙදීමෙන් නිරන්තර නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙම නිරීක්ෂණ මෙහෙයුම් සදහා  ගුවන් හමුදා අංක 03, අංක 08 සහ අංක 07 බලඝණයන්ට අයත්  වයි-12 යානා සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙකී නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි