ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම බර ප‍්‍රවාහන ගුවන් යානා අංගනය විවෘත කෙරේ
2:23pm on Monday 13th July 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ඉදිකෙරුණු විශාලතම ගුවන් යානා අංගනය විවෘත කිරීම 2020 ජූලි මස 01 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම බර ප‍්‍රවාහන ගුවන් යානා අංගනයන් අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ  අංක 61 බලපන්තිය විසින් සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ හෙලිටුවර්ස් ප‍්‍රවාහන සේවය විසින් භාවිතා කරනු ලබයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පෙර භාවිතා කරන ලද භූමිය සහ ගොඩනැගිලි ඇතුලු සියල්ල 2019 වසරේදී ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) සමාගම වෙත භාරදීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි පියාසර බලඝණයන් සඳහා අවශ්‍ය ගුවන් යානා අංගන ඇතුළු යටිතල පහසුකම් සියල්ල අළුතින් ඉදිකරනු ලැබිණි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගයේ සහය ඇතිව සිවිල් සමාගමක් මගින් මෙම ගුවන් යානා අංගනයේ දැවන්ත වානේ ව්‍යුහය ඉදිකිරීම සිදුකරන ලදී. මෙම විශාල ගුවන් යානා අංගනය වැඩකල හැකි බිම වර්ග අඩි 43777 ක පමණ ප‍්‍රමාණයකින් යුක්ත වන අතර ඊට අමතරව මහල් දෙකකින් යුත් අංක 61 බලපන්තියේ සහ හෙලිටුවර්ස් ආයතනයේ පරිපාලන කාර්යාල සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගුවන් යානා නඩත්තු අංශයන් පිහිටා ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ සෘජු අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නීලධාරීඑයාර් කොමඩෝර් සම්පත් වික‍්‍රමරත්න ගේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරිණි. ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය ගුව්න යානා අංගනයේ බිම සහ වර්ග අඩි 94723 ක බිම් ප‍්‍රමාණයකින් යුත් ගුවන් යානා නැවැත්වීමේ එළිමන් අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. එසේම රත්මලාන ප‍්‍රධාන ගුවන් ධාවන පථයට පිවිසුම් ධාවන පථ දෙකක් ඉදිකිරීමද මෙම පක්‍ෂාංගය මගින් සිදුකරන ලදී. එසේම මෙම ගුවන් යානා අංගනයේ සියළුම විදුලි පරිපථ කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරු යාන්ත‍්‍රික සහ විද්‍යුත් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් සිදුකරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අනදෙන නිළධාරී සහ අංක 61 බලපන්තියේ සහ හෙලිටුවර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි