එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාධිපති වශයෙන් වැඩභාරගනී
8:29am on Friday 15th January 2021
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව 2020 නොවැම්බර් මස 02 වන දින ගුවන් හමුදා තරු තුනේ නිළය වන එයාර් මාර්ෂල් නිළය දක්වා උසස් කිරීමෙන් අනතුරුව, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාධිපති වශයෙන් ධූරයේ රාජකාරීන් නිල වශයෙන් ආරම්භ කිරීම 2020 නොවැම්බර් මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය ගුවන් හමුදාධිපති උත්තමාචාර පෙළපාලියක් මගින් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත උත්තමාචාර පුදකරන ලද අතර අනතුරුව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පළමු වරට සමස්ථ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ආමන්ත‍්‍රණය කිරීම සිදුකරන ලදී. එය ගුවන් හමුදා මූලස්ථානයේ සිට දිවයින පුරා සියළුම ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයන්හි සජීවීව විකාශනය කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් තමන් කෙරෙහි විශ්වාස තබා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් තමන් පත්කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් වෙත සිය ස්තුතිය ප‍්‍රකාශ කර සිටියේය. එසේම, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙතද තමන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සිය ස්තුතිය ප‍්‍රකාශ කර සිටියේය. දේශීය සහ විදේශීය පුහුණුවීම් සංවර්ධනය කොට කිසිවෙකුට නොදෙවෙනි ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදවේ තත්වය තවත් උසස් කිරීම උදෙසා, වසර 30 කට අධික කාලයක් මුළුල්ලේ පැවති ත‍්‍රස්ථවාදයට එරෙහි සටනේ ගුවන් මෙහෙයුම් සඳහා ක‍්‍රියාකාරීව දායකත්වය දැක්වූ ගුවන් නියමුවෙකු මෙන්ම තමන්ගේ වසර 35 ක සේවා ජීවිතයේ තමන් ලද අත්දැකීම් කළමනාකරණ හැකියාවන් උපයෝගී කරගන්නා බවද නව ගුවන් හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

එසේම, පළමුව, ගුවන් හමුදාව සතු ගුවන් යානා සමූහය කඩිනමින් නඩත්තු කිරීම සහ කාලෝචිත වශයෙන් වැදගත් වූ නව ගුවන් යානා මිලදී ගැනීම් සිදුකොට ගුවන් හමුදාවේ ප‍්‍රහාරක සහ ගුවන් ආධාරක හැකියාවන් වැඩිදියුණු කිරීම. දෙවනුව, අනාගත පරම්පරාව උදෙසා සුවිශේෂී වූ ආර්ථික කලාපය තුළ ඇති සම්පත් ආරක්‍ෂා කිරීම සහ සංරක්‍ෂණය කිරීම සඳහා නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් ගුවන් හමුදාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ සහ ආපදා කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම. තෙවනුව, නියමුවන් රහිත ගුවන් යානා සහ සයිබර් ආරක්‍ෂණය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකරමින් අනාගත තර්ජනයන්ට මුහුණු දීම පිණිස ගුවන් හමුදාව වඩා හොඳින් සන්නද්ධ කිරීම සඳහා ගුවන් හමුදාවේ ගුවන් බලය සහ තාක්‍ෂණික නිපුණතාවයන් වර්ධනය කිරීම. අවසාන වශයෙන්, අනාගතයේ ඇතිවිය හැකි  ඕනෑම ස්වභාවික ආපදාවන්ට සාර්ථක අයුරින් මුහුණ දීම සහ එම ආපදාවන්ගෙන් රටේ ජනතාව සහ දේපල ආරක්‍ෂා කරගැනීම උදෙසා ගුවන් බලය සංවර්ධනය කිරීම. යන ප‍්‍රධාන ඉලක්කයන් 4 ක් ඔස්සේ ගුවන් හමුදාව ඉදිරියට ගෙන යාමට තමන් අදහස් කරන බව අවධාරණය කරන ලදී. එහිදී මෙම කාර්යයන් සාර්ථක කරගැනීම උදෙසා සියළුම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගය තමන් බලාපොරොත්තු වන බවද නව ගුවන් හමුදාධිපතිතුමන් පැවසීය.

අනතුරුව, නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපානන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, ආදරණිය බිරිඳ චාමිනී පතිරණ මහත්මිය, දියණිය භාෂිනී, පුත් විනුර, පවුලේ ඥාතීන් සහ නව තනතුර වෙනුවෙන් සුභ පැතීමට එක්වූ පිරිසකගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදාධිපති නිළ කාර්යාලයේදී ධුරයේ රාජකාරි නිළ වශයෙන් ආරම්භ කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි