ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෆීර් ප‍්‍රහාරක ජෙට් බලඝණය රිදී ජුබිලිය සමරයි
8:22am on Monday 17th May 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර්  ප‍්‍රහාරක ජෙට් බලඝණයට 2021 ජනවාරි මස 05 දිනට වසර 25 ක් සපුරාලමින් සිය රිදී ජුබිලිය සමරනු ලැබීය. සංවත්සර දින වැඩසටහන් මාලාව අරඹමින් බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේජීආර්අයි පෙරේරා සංවත්සර දින පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. අනතුරුව බලඝණ සාමජිකයින්  අමතන ලද අතර පසුව විශේෂ පැල සිටුවීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. සැමරුම් දින වැඩසටහන් මාලාව අවසන් කරමින් කටුනායක ගුවන් හමුදා කඳවුරු විහාරස්ථානයේ විශේෂ බෝධි පූජාවක්ද පවත්වන ලදී

වැලි කතරේ  සිංහයා නමින් විරුදාවලිය ලත් කෆීර්  ප‍්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත වූ අංක 10 බලඝණය 1996 වසරේ  ජනවාරි මස 05 වන දින ඊශ‍්‍රායලයේ නිශ්පාදිත කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 06කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර්  මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතාද ඇතුළුව ගුවන් නියමුවන් 06 දෙනෙකු ඇතුළු කාර්ය මණඩලයක් සහිතව ආරම්භ කරන ලදී.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර්  මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතා මෙම සුවිශේෂී වූ බලඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කොට ඇති අතර
මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම් සහගත යුතුකම ඉටුකරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත්වූ ප‍්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදුකිරීමට සක‍්‍රීය  දායකත්වය මෙම බලඝණය වෙත ලබාදී තිබේ.

මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිට මාතෘභූමියෙන් ත‍්‍රස්ථවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුධභූමියේ මහඟු කාර්යභාරයක් ඉටුකරන ලද බලඝණයකි. 1996 වසරේ සිට ගුවන් හමුදා සක‍්‍රීය සේවයට එක් වූ මෙම කෆීර්  යානාවන් 2006 වසරේ  ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛන්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරලීමට ඇප කැප විය. මෙම බලගණය සිය යානාවන් සතු ඉතා සියුම් භූමිගත ත‍්‍රස්ථවාදී ඉලක්කයන් වෙත අති සාර්ථක අන්දමින් ප‍්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ  සිට 2009 වසර දක්වා ප‍්‍රහාරක මෙහෙයුම් 2500 කට අධික ප‍්‍රමාණයක් සිදුකොට තිබේ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි