කණුගහවැව අභිනවරාමයේ අලුතින් ඉදිකරන ලද සෑ රදුන් සංඝ ශාසනයට පරිත්‍යාග කෙරේ.
9:44am on Saturday 6th November 2021
කැබිතිගොල්ලෑවේදී පවත්වනු ලැබු ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  තුමාගේ උපදෙස් පරිදි සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වන අදියර සාර්ථකව නිම කරන ලදී.

ආදර්ශ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව වසර ගණනාවක සිට අභිනවරාම විහාරස්ථානයේ අඩුපාඩුවක් ව පැවති ස්ථූපයක් සංඝ ශාසනයට පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සම්පූර්ණ කරන ලදී. බෞද්ධ පවුල් 314ක් සහ බෞද්ධයන් 942ක් පමණ වාසය කරන කණුගහවැව ගම්මානයේ ඇති එකම බෞද්ධ ආගමික මධ්‍යස්ථානය අභිනවාරාමය විහාරස්ථානයයි. අලුතින් ඉදිකරන ලද ස්ථූපයේ සම්පුර්ණ අරමුදල් සහ ශ්‍රමය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයන ලද අතර 2021 සැප්තැම්බර් 16 වැනි දින 0921 ට පැවති සුබ මොහොතින් සෑයෙහි  නිදන් වස්තු තැන්පත් කිරීම, ස්තූපය විවෘත කිරීම වැනි සම්ප්‍රදායික චාරිත්‍ර මාලාවක් ද පැවැත්විණි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව 2021 සැප්තැම්බර් 17 සිට දින තුනක් පුරා සෑයෙහි නිදන් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා දැක බලා ගැනීමට ගම්වාසීන්ට අවස්ථාව ලබ දුන් අතර ස්ථූපය තුළ ධාතු නිදන් කිරීම සහ පින්කම තැන්පත් කිරීම ඊයේ 2021 සැප්තැම්බර් 20 සිදු විය. පූජ්‍ය මහා සංඝරත්නයේ මගපෙන්වීම යටතේ සහ වවුනියාව මූලික ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අමල් පෙරේරා මහතාගේ ප්‍රමුඛත්වයෙන් දින පහක් පුරාවට සියලුම පුද පූජා පවත්වන ලදී. සියලුම චාරිත්‍ර වාරිත්‍රවලදී ශබ්ද පූජාව පැවැත්වීම සඳහා ගුවන් හමුදා හේවිසි කණ්ඩායම දායක විය.

වැඩබලන සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු උදුල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්පූර්ණ සංවර්ධන ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි