එයාර් වයිස් මාර්ෂල් රවීන්ද්‍ර ලියනගමගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සේවයට සමු දෙයි
2:06pm on Wednesday 22nd June 2022
වසර 34ක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවය නිමා කරමින් එයාර් වයිස් මාර්ෂල් රවීන්ද්‍ර ලියනගමගේ නිළධාරීතුමන් අද (2022 ජනවාරි 30) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදී. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂ තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් ලියනගමගේ මහතා විසින් 2022 ජනවාරි 28 වන දින පස්වරුවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ නිල කාර්යාලයේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් ඉවත් වෙන ලදී.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිවරයා අවධාරණය කළේය.මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ සුරතින් එයාර් වයිස් මාර්ෂල් ලියනගමගේ මහතා  හට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුවල ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර එදිනම (2022 ජනවාරි 28) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් රවීන්ද්‍ර ලියනගමගේ මහතා 1967 ජනවාරි 30 වැනි දින කොළඹදී උපත ලැබීය.ඔහු තම පාසල් සමයේදී මලල ක්‍රීඩා, පාපන්දු සහ හොකී ක්‍රීඩාවලට දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

1988 ජූනි මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන බඳවාගැනීමේ  කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වූ ඔහු 1990 වසරේ සාමාන්‍ය රාජකාරි ගුවන් නියමු නිලධාරියෙකු ලෙස පත් විය.ඔහුගේ පුහුණු කාලය තුළ ඔහු මූලික සටන් පුහුණු පාඨමාලාව, මූලික පියාසර පුහුණු පාඨමාලාව සහ උසස් හෙලිකොප්ටර් පුහුණු පාඨමාලා සාර්තකව නිම කර ඇත.

1990 වසරේ පුහුණුව නිම කිරීමෙන් පසු ඔහු බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත.2005 මැද භාගයේදී ඔහුට  ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.

2012 මාර්තු මාසයේදී ඔහු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ කදවුරු අණදෙන නිලධාරියා ලෙස පත් කරන තෙක් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරියා ලෙස ගුවන් හමුදා මූලස්ථානයට පත් කරන ලදී.පසුව ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පත් කරන ලද අතර නැවත ගුවන් හමුදා රත්මලාන කඳවුරේ කදවුරු අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.

මානුෂීය මෙහෙයුම් වලදී ඔහුගේ නිර්භීතකම  වෙනුවෙන් ඔහු 'වීර වික්‍රම විභූෂණ' සහ 'රණ වික්‍රම පදක්කම'යන නාමයන්ගෙන් පිදුම් ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි