කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල සිය 75 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සමරයි
4:58pm on Tuesday 26th July 2022
කටුනායක ගුවන් හමුදා කඳවුරේ රෝහල 2022 ජුලි 23 වන දින සිය 75 වන සංවත්සරය සමරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරට කැපී පෙනෙන හා කීර්තිමත් ඉතිහාසයක් ඇති අතර 1947 ජුලි 23 වන දින මීගමුව රාජකීය ගුවන් හමුදා රෝහල ලෙස ආරම්භ කිරීමෙන් පසු කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. එහි පළමු අණදෙන නිලධාරියා වන්නේ විංග් කමාන්ඩර් ඒඑස් ඇම්ස්ඩන්ගේ මහතායි.

1949 දී එය කටුනායක රාජකීය ගුවන් හමුදා රෝහල ලෙස නම් කරන ලදී. මෙම අවස්ථාවේදී ඈත පෙරදිග සිට රාජකීය ගුවන් හමුදාවේ රෝගීන් ශල්‍යකර්ම සඳහා කටුනායකට රැගෙන ආ අතර ශල්‍ය වෛද්‍යවරුන් වන මහාචාර්ය මිල්රෝයි පීරිස් සහ මහාචාර්ය ආර්.ඒ. නවරත්න වැනි කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරුන් එම රෝහල දී ශල්‍යකර්ම සිදු කළහ. "රාජකීය ලංකා ගුවන් හමුදාවේ" වෛද්‍ය ශාඛාව ආරම්භ වූයේ 1952 පෙබරවාරි 6 වන දින වේ.

රාජකීය ලංකා ගුවන් හමුදා රෝහල අවසන් වරට සේවය කරන ලද බ්‍රිතාන්‍ය ඒකකවලින් එකක් ලෙස ඉවත් වී ස්වාධීන ඒකකයක් ලෙස පිහිටුවන ලද්දේ 1960 මාර්තු මාසයේදී ය. එතැන් පටන් මෙම රෝහල අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙහෙයවනු ලැබීය.
 
කටුනායක ගුවන් හමුදා කඳවුරේ රෝහල ලෝක වසංගතයක් වූ COVID - 19 ආසාදන වැළැක්වීමේ සහ ප්‍රතිකාර කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.
 
“වසර 75 ක සේවයේ” මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් නිලූකා අබේසේකර මහත්මිය විසින් කටුනායක ගුවන් හමුදා මුලික රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය සමඟ එක්ව 2022 ජූලි 18 වන දින සිට මානසික සෞඛ්‍යයට ප්‍රතිලාභ සැලසෙන වැඩසටහනක් ආදී වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්, සියලුම ගුවන් කාන්තාවන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සඳහා පිළිකා හඳුනාගැනීමේ වැඩසටහනක් මෙන්ම සිරිත් පරිදි වැඩ පෙළපාලියක් සහ රුක් රෝපණ වැඩසටහනක් ද මෙහිදී සංවිධානය කර තිබුනි. තවද අනාථ දරුවන් 100ක් සඳහා කොච්චිකඩේ, වැහිහේන ප්‍රදේශයේ වෛද්‍ය/දන්ත සහ මානසික සුවතා සායනයක් ද පවත්වන ලදි.

මෙම අවස්ථා සඳහා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් වෛද්‍ය ලලිත් ජයවීර සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර යන මහත්වරුන්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි