එයාර් වයිස් මාර්ෂල් දුෂ්‍යන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
1:17pm on Thursday 28th July 2022
එයාර් වයිස් මාර්ෂල් දුෂ්‍යන්ත රත්නායක MSc (Def Stu) in Mgt, MDS, psc මහතා වසර 34කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවයෙන් පසු අද (2022 ජූලි 27) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

 එයාර් වයිස් මාර්ෂල් රත්නායක මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවී නිල සමුගැනීමේ හමුවක් ඔහුගේ කාර්යාලයේදී සිදු කළේය. ගුවන් හමුදාධිපතිතුමන් ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වසර ගණනාවක් කැපවී කළ සේවය වෙනුවෙන් ඔහුව ඇගයීමට ලක් කළේය. අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත්, ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් රත්නායක මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර එදිනම (2022 ජූලි 27) ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් දුෂ්‍යන්ත රත්නායක මහතා 1987 ජුලි 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 18 වන බඳවා ගැනීමේ පාඨමාලාව යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ අතර 1989 වර්ෂයේ දී ගුවන්යානා සහ සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිලධාරියෙකු වශයෙන් අධිකාරියට පත් විය. ඔහුගේ පුහුණු කාලය තුළ ඔහු සාර්ථකව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ මූලික සටන් පුහුණුව, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ මූලික පරිපාලන සහ ශාඛා පුහුණු පාඨමාලා ද කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවද බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික පාඨමාලාවද හදාරා ඇත.

ඔහු එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් යානා නඩත්තු නිලධාරීන්ගේ පාඨමාලාව (AMOC), පකිස්ථාන ගුවන් හමුදාවේ භූමි ආරක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දීය ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කළමනාකරණ දිශානති පාඨමාලාව (SEMOC), පකිස්ථාන ගුවන් හමුදාවේ ගුවන් යානා අනතුරු විමර්ශන පාඨමාලාව සහ සිංගප්පූරුවේ බෙල් 412/ 212 හෙලිකොප්ටර් ප්‍රධාන සහ ටේල් රොටර් බ්ලේඩ් නඩත්තු පාඨමාලාව යන විදේශිය පාඨමාලාවන් හදාරා ඇත.

එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කළමනාකරණ විද්‍යාව (ආරක්ෂක අධ්‍යයනය) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. ඔහු බෙල් 412 හෙලිකොප්ටර් සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙකි (Category 'C'). තවද, ඔහු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ අංක 2 ප්‍රවාහන බලඝණයේ සහ අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. තවද ඔහු අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ නිලධාරි අණදෙන නඩත්තු, ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන්යානා සහ සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිලධාරී III, අණදෙන නිලධාරී යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා කිරීමේ පක්ෂාංගය, අණදෙන නිලධාරිය සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය, අණදෙන නිලධාරි ගුවන්යානා ඉංජිනේරු පක්ෂාංගය, විධායක තත්ව සහතික නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන්යානා සහ සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂකය යන ප්‍රධාන පත්වීම් කිහිපයක්ම දරා ඇත. පසුව එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක වශයෙන්ද, ගුවන්යානා සහ සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරන ලදි.

වසර 34කට අධික ඔහුගේ කීර්තිමත් ගුවන් හමුදා දිවිය තුළ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, 50 වැනි ස්වාධීන සමරු පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, සහ රිවිරැස  සේවා යන පදක්කම් හිමිකර ගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි