ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත් කෙරේ
10:53am on Tuesday 20th September 2022
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට 2022 සැප්තැම්බර් 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත එදින නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ RSP, USP, MSc (MOA) USA, MSc (Def Stu) in Mgt, MA in IS&S (UK), BSc (Def Stu), MIM (SL), rcds, psc  1988 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  නියමු  පොදු රාජකාරි කැඩෙට් නිලධාරියෙකු ලෙසින් සම්බන්ධ විය.ඔහු 33 වැනි පියාසර කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාවේ දක්ෂතම කැඩෙට් නිලධාරියා බවට පත් වු අතර  ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයේ මූලික පියාසර පුහුණුව හදාරා ඇත.  ඔහු 1990 දී නියමු පොදු රාජකාරි ශාඛාවේ පියාසර නිලධාරියෙකු වශයෙන් අධිකාරියට පත් වු අතර දිවයිනේ ත්‍රස්තවාදී ගැටුමේදී සිදු කරන ලද සෑම ප්‍රධාන මෙහෙයුමකටම  ඔහු විෂිශ්ඨ දායකත්වයක් දැක්විය.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ  CESSNA–150,HARBIN Y-12,HS–748,SF–260TP,IA–58 PUCARA,B–200T,AN–32 සහ C–130 ගුවන් යානා පියාසර කිරීමට සුදුසුකම් ලබා ඇත.ඔහු පියාසර පැය 7000කට වඩා පියාසර කර ඇති අතර  "Master Green Rating" යන ඉහළම ශ්‍රේණිගත කිරීම සහ සිවිල් ගුවන් ප්‍රවාහන ගුවන් නියමු බලපත්‍රයද (ATPL) හිමිකරගෙන ඇත. එයාර් වයිෂ් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2007 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂක මාණ්ඩලික (ගුවන්) ලෙස සේවය කර ඇති අතර 2010 වර්ෂයේ ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා මූලික කදවුරේ අංක දෙක බළඝණයේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත. ඉන් අනතුරුව ඔහු  2011 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2012 සිට 2014 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙස  පත්වීමක් ලැබීමෙන් පසු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මෙම නිළධාරීතුමන් බංගලාදේශයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ පියාසර ආරක්ෂක නිලධාරීන්ගේ පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ උසස් ආරක්ෂක සහයෝගිතා පාඨමාලාව ඇතුළු විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත. තවද  ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ උපාධිය සහ ආරක්‍ෂක අධ්‍යයන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය “කුසල සාමාර්ථයක්” සමඟ සම්පූර්ණ කිරීමෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි ගුවන් විධාන හා මාණ්ඩලික විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර එක්සත් රාජධානියේ රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ (rcds) ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික නායකත්ව අධ්‍යයනය පිළිබඳ උපාධිධාරියෙකි.මෙම නිළධාරීතමන්ගේ නිර්භීතකම වෙනුවෙන් ඔහු තුන් වතාවක් රණ සූර පද්දක්කම සම්මානයෙන් පිදුම් ලැබීය

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට පත් වී ඇති අතර 2021 වසරේ කමාන්ඩර් කුසලාන ඊගල්ස් අභියෝගතා කුසලානය දිනූ එකම ගුවන් හමුදා නිලධාරියාද ඔහු වේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි