'රණවිරු රියල් ස්ටාර්' අවසන් මහා තරගය'
9:29am on Friday 13th July 2012
‘රණවිරු රියල් ස්ටාර්’දෙවන අදියරයේ අවසන් මහා තරගයේ ජයග්‍රහනය සතු කරගැනීමට යුධ හමුදා ගායිකා අයෝමි පෙරේරා පසුගිය සිකුරාදා (ජූලි 06) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සමත් විය.රණවිරුවන් තුළ සැඟැවුණු කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් යුතුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව අති සාර්ථක දෙවන අධියර ලෙස මෙම සෞන්දර්යාත්මක ක්‍රියාන්විතය විද්‍යුත් මාධ්‍ය හරහා එලිදැක් වීය.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ අවස්ථාවට එක් වූ අතර ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමන් වන ගෝඨාභය රාජපක්ෂ,අයෝමා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් ප්‍රමුඛ සෙසු හමුදා සාමාජිකයන් හා සම්භාවණීයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හී නම්දරා සිටින තාරාකාවන් වන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා, විශාරද එඩ්වර්ඩ් ජයකොඩි,ප්‍රවීන රංගන ශිල්පිණී යශෝදා විමලධර්ම මහත් මිය මෙම තරගාවලියේ විනිශ්චය කිරීමට සහභාගී විය.විනිශ්චය මණ්ඩලයට තරගකරුවන් වෙනුවෙන් පල කළ හැකි වූයේ 60% ක ලකුණු ප්‍රතිශතයක් පමණි. ඉතිරි 40%ක ප්‍රමාණය ප්‍රේක්ෂක දායකත්වය මගින් ලද කෙටි පණිවිඩ ඔස්සේ තීරණය විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු කාන්තා සෙබල අයෝමි පෙරේරා මෙවර ‘රණවිරු රියල් ස්ටාර්’ කිරුළ හිමිකර ගනු ලැබූයේ ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් මිලියන 17ක් වටිනා සුඛෝපභෝගී නව නිවසක් ද දිනා ගනිමින්ය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයාන් අරුණප්‍රිය විසින් මෙහි අනුශූරතාවය දිනා ගනු ලැබූ අතර ටොයෝටා ලංකා සමාගම වෙතින් පිරිනැමුනු ‘ටොයොටා ඇවන්සා’ රථය සමග රුපියල් මිලියනයක මුදලක් ඔහු විසින් හිමිකර ගනු ලැබිණි.මෙහි තෙවැනි ස්ථානයද ශ්‍රී ලංකා යුද හමුදාව වෙතම හිමිකර දෙමින් කාවින්ද දුමින්දරාජ් විසින් කුසලානය සමග රුපියල් ලක්ෂ පහක මුදලක් හිමි කර ගනු ලැබිණි.ශ්‍රී ලංකා යුද හමුදාවේ අසේල මණුකුලසූරිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉමාලි අනුරුද්ධිකා විසින් අනුපිළිවෙන් සිවුවන හා පස්වන ස්ථානයන් වෙනුවෙන් වන කුසලානයන් හා මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් හිමිකර ගනු ලැබූහ.

සැම තරග වටයකදීම මෙන්ම අවසන් වටයේද විනිසුරුවන් විසින් පෙන්වා දුන් සැම අඩුපඩුවක්ම සාදා ගනිමින් උපරිම දක්ෂතා එලිදක්වූ කෝප්‍රල් ඉමාලි අනුරුද්ධිකා හට විනිශ්ච මණ්ඩලයේ ප්‍රසංසාව මෙන්ම ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ මීලග චිත්‍රපටයේ ගායන  හා රංගනය සදහා විවෘත ආරාධනාවක් ද හිමි විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි