'රණවිරු රියල් ස්ටාර්' අවසන් මහා තරඟය
9:21am on Thursday 2nd June 2011
ලෝකයේ ප්‍රථම වරට පවත්වන ලද 'මිලිටරි රියලිටි' වැඩසටහන 'රණවිරු රියල් ස්ටාර්' තරඟයේ අවසන් මහා තරඟය ඊයේ (මැයි 29 දින) සන්ධ්‍යාභාගයේදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. නාවික හමුදාවේ කමාණ්ඩර් ඩේමියන් ප්‍රනාන්දු 'රණවිරු රියල් ස්ටාර්' කිරුළ හිමි කර ගන්නා ලදී.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ජාතික රූපවාහිනි සංස්ථාව හා සීමාසහිත ඩයලොග් පුද්ගලික ආයතනය එක්ව සංවිධානය කළ මෙම 'රණවිරු රියල් ස්ටාර්' වැඩසටහන අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.

ලෝකයේ ප්‍රථම වරට පවත්වන ලද  'මිලිටරි රියලිටි' වැඩසටහන වන 'රණවිරු රියල් ස්ටාර්' තරඟය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 25000ක් පමණ සහභාගි වීම විශේෂත්වයකි. තෝරා ගන්නා ලද 500 (යුධ හමුදා 300, නාවික හමුදා 125 හා ගුවන් හමුදා 75) දෙනා අතර පැවැති තියුණු තරඟයකින් පසු අවසන් 24 දෙනා තෝරා ගන්නා ලදී.

ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු පියාසර නිළධාරි සාරංග ක්‍රිෂාන්ත අවසන් හත්දෙනා අතරට පැමිණීම සුවිශේෂී කරුණකි. තවද හත්වන ස්ථානය සඳහා සාරංග ක්‍රිශාන්ත හට මුදලින් රුපියල් 250,000 හා නොමිලේ ඩයලොග් ටී.වි සම්බන්ධතාවයක්ද සමගින් අඟල් 32ක පැතලි තිර රූපවාහිනි යන්ත්‍රයක් ත්‍යාග වශයෙන් හිමි විය.

මෙම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්තී රාජපක්ෂ මැතිණිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අයෝමා රාජපක්ෂ මහත්මිය, මැති ඇමතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදා හා පොලිස් ප්‍රධානීන්, කලාකරුවන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සෙබළ සෙබළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි