පාකිස්තානු ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක
9:26am on Thursday 28th August 2014
පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆික් බට් නිල සංචාරයක් සඳහා අද (2014 අගෝස්තු මස 28) දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලදි. පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන්, එම මැතිණිය සහ පාකිස්තාන ගුවන් හමුදාවේ උසස් නිළධාරීන් දෙදෙනෙක් මෙම සංචාරයේ නිරත වෙයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රොෂානි ගුණතිලක මැතිණිය විසින් පකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය පිළිගැනීම සිදු කරන ලදී.

එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් 1955 උපත ලද අතර සර්ගෝදාහි පාකිස්තාන ගුවන් හමුදා පාසලින් මූලික අධ්‍යාපනය හදාරන ලද අතර අනතුරුවපා කිස්තාන ගුවන් හමුදාවට බැඳී 1977 වර්ෂයේ මාර්තු මස රිසාල්පූර් පාකිස්තාන ගුවන් හමුදා විද්‍යාපීඨයේදී උපාධිය ලබන ලදී. ගුවන් නියමු  පුහුණු පාඨමාලාවලින් අනතුරුව පාකිස්තාන ගුවන් හමුදාවේ ප‍්‍රහාරක හා පුහුණු ගුවන් යානා රැසක් පියාසර කිරීම මෙතුමන් විසින් සිදු කරන ලද අතර ගුවන් නියමු පුහුණු උපදේශක තනතුර හා සටන් පුහුණු අණදෙන නිළධාරියෙකු ලෙසද සුදුසුකම් ලබන ලදී. මෙතුමන් පාකිස්තාන ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ගුවන් යානා පක්‍ෂාංග කිහිපයකටද, ගුවන් හමුදා මූලස්ථාන දෙකකද අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කර ඇත.

එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆික් බට් පාකිස්තාන ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාධිපති තනතුරට පත්වීමට පෙර උසස් නිලතල රාශියක රාජකාරියෙහි නිරත වී ඇත. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන මෙතුමන් පාකිස්තානය වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගෞරව සම්මානයටද පාත‍්‍ර වී ඇත.

ශ‍්‍රී ලංකා සංචාරයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලය, යුධ, නාවික සහ ගුවන් හමුදා මූලස්ථානයන්, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සංචාරය කිරීමට නියමිත වෙයි. එසේම මෙතුමන් නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන් සහ ත‍්‍රිවිධ හමුදාධිපතිතුමන්ලා හමුවීමට නියමිතවෙයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි