ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට උසස්වීමක්
12:04pm on Tuesday 2nd September 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ දක්ෂ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන නායක ගුවන් භට දිල්ෂාන් සහ නායක ගුවන් භට මධුශාන් හට ඔවුන් පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර්ජාතික බොක්සිං තරඟාවළියේ දක්වන ලද විශිෂ්ඨ දක්ෂතාවන් සලකා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ඔවුන් අද (2014 සැප්තැම්බර් මස 1) දින සිට නායක ගුවන් භට නිළයේ සිට කෝප‍්‍රල් නිළය දක්වා උසස් වීමක් ප‍්‍රදානය කිරීම කරන ලදී. එමෙන්ම ගුවන් හමුදාධිපතිතුමන් විසින් මුදල් ත්‍යාගයන් පිරිනැමීමද මෙහිදී සිදු කරන ලදී.

018445 නායක ගුවන් භට දිල්ෂාන් එම්වයිඑම් 2008 වසරේ නොවැම්බර් මස 18 වන දින මෙහෙයුම් භූමි වෘත්තියේ ආධුනික ගුවන් භටයෙකු වශයෙන් ගුවන් හමුදා සේවයට එක්වූ අතර මින්නේරිය ගුවන් හමුදා මූලික කඳවුරේ මාස හතරක ආධුනික ගුවන් භට පාඨමාලාව හදාරන ලදී. පුහුණුවෙන් පසු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල කඳවුරෙහි රාජකාරීන්හි නිරත වෙන අතර ගුවන් හමුදා අන්තර් ඒකක බොක්සිං තරඟාවළිය නියෝජනය කරමින් අර්ධ අවසාන තරඟ වටයට සහභාගී විය. එහිදී දක්වන ලද උපක‍්‍රමශීලී තරඟ විලාශය හඳුනාගත් ගුවන් හමුදා බොක්සිං කමිටුව විසින් මොහු ගුවන් හමුදා බොක්සිං සංචියට තෝරාගන්නා ලදී. ගුවන් හමුදා බොක්සිං සංචිතයට ඇතුලත් වී ලබාදුන් පුහුණුව මගින් ප‍්‍රමුඛ පෙලේ බොක්සිං ක‍්‍රීඩකයෙකු ලෙස ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංචිතයේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්විය. මොහු ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජෝර්දානයේ අම්මාන් හි පැවති ආසියානු බොක්සිං තරඟාවළියට සහභාගී වූ අතර 2014 වසරේ කියුබානු බොක්සිං තරඟාවළියේදි ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදී. එසේම මොහු ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරඟාවළියටද සහභාගී විය. පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරඟාවලිය නියෝජනය කරමින් රටවල් 11 ක ක‍්‍රිඩකයින් අභිබවා ”ලයිට් වෙල්ටර් වේට්” (කිග‍්‍රෑ 64 අඩු) බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නා ලදී.

39255 නායක ගුවන් භට මධුෂාන් පීජීඊ 2009 වසරේ මාර්තු මස 11 වන දින මෙහෙයුම් භූමි වෘත්තියේ ආධුනික ගුවන් භටයෙකු වශයෙන් ගුවන් හමුදා සේවයට එක්වූ අතර ඔහුද මින්නේරිය ගුවන් හමුදා මූලික කඳවුරේ මාස හතරක ආධුනික ගුවන් භට පාඨමාලාව හදාරන ලදී. එසේම ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසලේ උසස් පාඨමාලාව හදාරා අනතුරුව ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි රාජකාරියෙහි නිරතව සිටන අතර කොළඹ කඳවුර නියෝජනය කරමින් 2010 වසරේ අන්තර් ඒකක බොක්සිං තරඟාවළියට සහභාගී වූ අතර එහිදී ඔහු විසින් දක්වන ලද විශිෂ්ට දක්ෂතාවයන් හේතුවෙන් ගුවන් හමුදා බොක්සිං කමිටුව විසින් ගුවන් හමුදා බොක්සිං සංචිතයට තෝරා පත් කර ගන්නා ලදී. එහිදී ලද පුහුණුව මගින් තම හැකියාවන් වර්ධනය කර ගත් මොහු ශ‍්‍රී ලංකා ජාතික බොක්සිං සංචිතය නියෝජනය කරමින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවති ද්විත්ව බොක්සිං තරඟාවළිය සහ ග්ලාස්ගෝ 2014 පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන ලදී. මොහු පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරඟාවලිය නියෝජනය ”ලයිට් ෆ්ලයි වේට්” (කිග‍්‍රෑ 49ට අඩු) බර පන්තියේ රිදී පදක්කම දිනා ගන්නා ලදී.

දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් තමන් සතු සියළුම බොක්සිං දැනම නායක ගුවන් භට දිල්ශාන් සහ නායක ගුවන් භට මධුෂාන් වෙත ලබාදෙමින් අති දක්‍ෂ බොක්සිං ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ගුවන් හමුදාවෙන් බිහි කිරීමට දායක වුණු ඔවුන් දෙපලගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද 014501 නායක ගුවන් භට වෙත්තසිංහ එච්ඒඑස්එස් හට ගුවන් හමුදාධිපතිතුමන්ගේ විශේෂ ස්තුතිය හිමි විය. ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ගුවන් හමුදා බොක්සිං සංචිතයේ ලේකම් ස්කොඩ‍්‍රන් ලීඩර් එම්වයිඑම් සෆ්රාස් සහ ගුවන් හමුදා බොක්සිං සංචිතයේ අනෙකුත් නිළධාරීන් මෙම අවස්ථාවට එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි