ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නව විශ‍්‍රාම ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමය
2:12pm on Tuesday 30th December 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් හඳුන්වා දුන් විශ‍්‍රාම ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයට අනුව එම පහසුකම් ලබා ගත් පළමු ප‍්‍රතිලාභීන්ට ඊට අදාල චෙක් පත් ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතින් අද උදෑසන (දෙසැම්බර් මස 30* ගුවන් හමුදා මූලස්ථාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අනුමත කිරීම 2014 වසරේ ඔක්තෝම්බර් මස 20 වන දින සිදුකරන ලදී.

මෙම යෝජනා ක‍්‍රමය යටතේ විශ‍්‍රාම යන නිළධාරියෙකු සඳහා රු. 1,000,000.00 ක මුදලක්ද, ගුවන් භටයෙකුට සහ ගුවන් කාන්තාවකට පිළිවෙලින් රු750,000.00 ක් සහ රු 500,000.00 ක ප‍්‍රතිලාභයක් හිමිවේ. මීට ප‍්‍රථම හිමිවූ ප‍්‍රතිලාභය මෙන් දෙගුණයකටත් අධික ප‍්‍රතිලාභයක් මෙමගින් හිමිවන අතර තවත් වසර තුනකදී සමීක්‍ෂණයකින් අනතුරුව තවදුරටත් ප‍්‍රතිලාභ වැඩි කිරීමට බලාපොරොත්තු වේ. සියළුම සේවා පුද්ගලයින් වසර 20-22 සේවා කාලයක් සඳහා මෙම යෝජනාක‍්‍රමය සඳහා දායකත්වය දරනු ලබන අතර ඔවුන් විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි. කිසියම් නිළධාරියෙකු හෝ ගුවන් භටයෙකු හෝ ගුවන් කාන්තාවක් නියමිත කාලයට ප‍්‍රථම විශ‍්‍රාම ලබන විට ඔහුට හෝ ඇයට එතෙක් දැක්වූ දායකත්වය 5% ක පොළියක් සමග නැවත ගෙවනු ලැබේ. යම්කිසි සාමාජිකයෙකුගේ මරණයකදී එතෙක් දැක්වූ දායකත්වය පොළියක්ද සහිතව ලඟම ඥාතියාට ගෙවනු ලැබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් නිළධාරීන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් නව දෙනෙකු සහ කෝප‍්‍රල්වරුන් තිදෙනෙකුට චෙක් පත් ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි