උතුරු මුහුදේ ජීවිත බේරාගැනීමේ නිදර්ශණාත්මක පුහුණුවක් වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී
11:36pm on Friday 13th May 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද මුහුදේ හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා ආධාරයෙන් මුදවා ගන්නා ආකාරය ප‍්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී අද (2016 මැයි 13) දින උදෑසන පැවැත්විණ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 07 හෙලිකොප්ටර් බලඝණය මගින් මෙහෙයවනු ලැබූ මෙම නිදර්ශණාත්මක පුහුණුව සඳහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා ගුවන් භටයින්, ගුවන් අවිකරුවන් සහ ගුවන් යානා ඉංජිනේරු ශිල්පීන්ගෙන් සමන්විත වූ ගුවන් භටයින් කණ්ඩායමක් සහභාගී වුහ. එසේම නාවික හමුදාවේ ජීවිත බේරාගැනීමේ බෝට්ටු සහ ජීවිත බේරාගැනීමේ භටයින්ද මෙම පෙරහුරුව සදහා තම දායකත්වය ලබා දෙන ලදී.

ගුවන් යානාවක් හෝ නාවුක යාත‍්‍රාවක් මුහුදේදී අනතුරකට ලක්වූ පසු එම අනතුරින් ජීවිත බේරාගත් පිරිස ඉන් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා භාවිතා කොට මෙම ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම නිදර්ශණාත්මක පුහුණු අභ්‍යාසය ගුවන් හමුදා ජීවිත බේරාගැනීමේ කණ්ඩායමට මෙන්ම  උතුරු ප‍්‍රදේශයේ සාමාන්‍ය සිවිල් වැසියන්හටද සුවිශේෂී අත්දැකීමක් විය.

ශ‍්‍රී ලංකා ගුවන්හමුදා ජීවිත බේරාගැනීමේ කණ්ඩායම බොහෝ අවස්ථාවන් වලදී ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් සදහා තම ඍජු දායකත්වයක් ලබාදී තිබේ. ගංවතුර ආපදාවන් වලදී සහ ආපදාවට ලක්වූ ධීවරයින් මුදවා ගැනීම ආදී අවස්ථා රාශියකදී ගුවන් හමුදාව ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් දියත් කොට තිබේ. තවද ගුවන් හමුදාවේ තොරතුරු ලබාගැනීමේ ගුවන්යානා මගින් මුදවාගැනීමේ මුහුදු යාත‍්‍රාවන් සඳහා නියමිත තොරතුරු ලබාදී එම යාත‍්‍රාවන් අනතුර ලක්වූ ස්ථානය වෙත ඉතා ඉක්මනින් ලඟා කරවීමට කටයුතු කරනු ලබයි.

මෙම පුහුණු අභ්‍යාසය පලාලි ගුවන් හමුදා කදවුරු අණදෙණ නිළධාරී ගෲප් කැප්ටන් එස් ඞී ජී එම් සිල්වා සහ අංක 07 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන් කේ තනිප්පුලිආරච්චි විසින් මෙහෙයවන ලදී.

මෙම නිදර්ශණාත්මක පුහුණුව පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, පොලීසිය, වෙරළාරක්‍ෂක අංශය, පේදුරුතුඩුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය කි‍්‍රයාකාරීව දායකත්වය සපයන ලදී.

මීට අමතරව, වැල්වැටිතුරෙයි චිදම්බරම් විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් ප‍්‍රාදේශීය සම්බන්ධිකරණය සිදු කරමින් සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවා පුද්ගලයින් වන ගුවන් ගමන් පාලක භටයින්, මෙහෙයුම් භූමි භට කණ්ඩායම්, වෛද්‍ය සේවා භට කණ්ඩායම්, ගිනි නිවීමේ භට කණ්ඩායම්, වනගත මුදවාගැනීම් භට කණ්ඩායම්, සැපයුම් භට කණ්ඩායම් සහ ප‍්‍රවාහන අංශයේ භට කණ්ඩායම් මෙම පුහුණු අභ්‍යාසය සදහා කි‍්‍රයාකාරීව දායකත්වය සපයන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි