ප‍්‍රතිසංස්කරණය කරන ලද මඩකළපුව ගුවන් තොටුපල අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කෙරේ
3:34pm on Monday 11th July 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව ගුවන් ධාවන පථය හා අලුතෙන් ඉදිකරන ලද නව මගී පර්යන්තය 2016 ජුලි මස 10 වන දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා රැගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.ඒ 60 වර්ගයේ ගුවන්යානය ගොඩබැස්සවීමත් සමග ජනතා අයිතියට පත්කරන ලදී.

අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන්ගේ සපැමිණීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුලූ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා මන්තී‍්‍රවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම් හා රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පිළිගන්නා ලදි.

මෙම ගුවන් ධාවන පථය සහ මගී පර්යන්ත ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් 2012 දෙසැම්බර් මස ආරම්භ කරන ලද අතර මීටර් 1070 ක් වූ ධාවන පථය මීටර් 1560 ක් දක්වා දිර්ඝ කොට ඉදි කිරීමේ කාර්ය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි. එසේ ආරම්භ කර 60% ක් පමණ අවසන් වීමෙන් පසු විවිධ හේතූන් මත 2015 නොවැමිබර් මස මෙහි ඉදිකිරීම් නතර කර ඇත.

ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ඉල්ලීමකට අනුව වර්ෂ 2015 දෙසැමිබර් 17 වන දින අමාත්‍ය මණ්ඩළයේ තීරණයකට අනුව මෙම ගුවන් යානා ධාවන පථයේ ඉදිකිරීමි කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත 2016 ජනවාරි මස 12 වන දින පවරන ලදි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක අධීක්‍ෂණය යටතේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් කරන ලද මූලික සැලසුම් අනුව 2016 ජනවාරි මස 15 වන දින ආරම්භ කරන ලද අතර 2016 මැයි මස 25 වන දින නිම කරන ලදි. දින 100 ක පමණ ඉතා කෙටි කලකින් මෙම ව්‍යාපෘතිය නිම කරමින් ඉතිරි 40% ක ප‍්‍රමාණය ඉදිකිරීම හා අලූතින් ඉදි කරන ලද මගී පර්යන්තය සදහා රුපියල් මිලියන 290 ක මුදලක් වැය වී ඇති අතර ද්‍රව්‍යමය වියදම්, කම්කරු, වෙනත් සම්පත් සහ අමතර වියදම් ඇතුලූව සසදා බලන විට එමගින් දළ වශයෙන් රුපියල් මිලියන 410 ක මුදල් ප‍්‍රමාණයක් රටට ඉතිරි කර දීමට හැකියාව ලැබී ඇත. මෙය ගුවන් හමුදාව විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද අනුරාධපුර, මඩකළපුව ගුවන් පථයන් සහ අලූතින් ඉදි කරන ලද ඉරණමඩු, මුලතිව් ගුවන් පථයන් හතරෙන් එකකි.

ව්‍යාපෘතියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ අලූතින් ඉදි කරන ලද මගී පර්යන්තය සදහා සමස්ථ පිරිවැය රුපියල් මිලියන 1143 ක් වේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි