අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
4:43pm on Tuesday 27th September 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2016 සැප්තැම්බර් මස 23 වන දින සිය 22 වැනි සංවත්සරය සමරනු ලැබීය.

මෙදින වැඩසටහන් මාලාව යටතේ සංවත්සර දින වැඩ පෙළපාලිය කඳවුරු සරඹ පිටියේදී අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිපුන තනිප්පුලිආරච්චි ඇතුළු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ. පෙළපාලිය අවසානයේ බලඝණයේ අණදෙන නිළධාරීතුමන් සියලුම දෙනා අමතමින් බලඝණය නගා සිටුවීම සඳහා දායකත්වය දැක්වීම වෙනුවෙන් සියලු දෙනාට ඔහුගේ අවංක ස්තුතිය පළකල අතර බලඝණයේ සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සුබ ප්‍රර්ථනා කළේය. පසුව බලඝණයේ සියලුදෙනාගේම සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණ. ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සම්පත් වික්‍රමරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.         

මෙහිදී එදා සිට අද දක්වා අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ සේවය කල එහි සාර්ථකත්වය හා ගෞරවය වෙනුවෙන් මෙන්ම ජාතිය වෙනුවෙන් උත්තරීතර කැපවීමක් කල අය ද සිහිපත් කෙරිණ.    

මෙම සංවත්සර උත්සවයට සමගාමීව අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ දැනට  සේවය කරන 45001 නායක ගුවන් භට රත්නායක ආර් එම් සී ජේ පී (ගුවන් යානා සැකිලි ශිල්පී) සඳහා නිවසක් ඉදි කිරීමට මූල්‍යාධාර හා ශ්‍රමය දායකත්වය ලබාදීම ද සිදු කෙරිණ. ගුවන් හමුදා සාමාජිකයෙකු වන ඔහු, පියා රෝගී තත්වයෙන් පසුවන දැඩි දුෂ්කරතා ඇති පවුලක එකම ආදායම් උපයන්නා වන නිසා බලඝණය විසින් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කිරීමට තීරණය කරන ලදී.

මෑත වසර කිහිපය තුළ දී මෙම ගුවන් හමුදා ඒකකය වාර්ෂික සංවත්සරයන්ට සමගාමීව විශාල සමාජ ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇතත්, මේ ආකාරයට සේවා පුද්ගලයෙකුට ව්‍යාපෘතියක් මගින් සෙත සැලසූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම බලඝණය හොඳ හිත සහ සියලු සාමාජිකයන්ගේ  යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් අනාගතයේ දී ද මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමට අදිටන් කරගෙන ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි