19 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් වෙයි
1:22pm on Monday 12th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය නොකඩවා 19 වන වතාවටත් 2018 මාර්තු මස 02 වන දින සිට 04 වන දින දක්වා අදියර 3ක් යටතේ පවත්වන ලදී. ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරයට සමගාමීව මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය පවත්වන ලදී. දෙස් විදෙස් පාපැදි තරඟකරුවන් රාශීයක් මෙවර තරඟාවළීය සඳහා එක් වූ අතර කොළඹ සිට අම්පාර දක්වා කිමී 458.6 ක සමස්ථ දුරකින් යුක්ත වූ තරඟාවළිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මධුශංක ප‍්‍රනාන්දු විසින් ජයග‍්‍රහණය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම විසින් තරඟාවළියේ කණ්ඩායම් ශූරතාවය හිමිකරගන්නා ලදී.

කාන්තා තරඟය මාර්තු මස 04 වන දින මඩකලපුව සිට අම්පාර දක්වා පැවැත්වුනු අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ ශ්‍යාමලී විසින් ශූරතාවය හිමිකරගත් අතර ගුවන් හමුදාවේ නිරෝෂණී පෙරේරා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුතවේ සන්ධ්‍යා කුමාරි විසින් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගන්නා ලදී. ගුවන් හමුදා කාන්තා පාපැදි කණ්ඩායම විසින් කාන්තා තරඟයේ කණ්ඩායම් ශූරතාවය දිනා ගන්නා ලදී.

තරඟාවළියේ ජය සංකේත ප‍්‍රදානය අම්පාර ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධෘරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. තරඟාවළයේ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය සිරස මාධ්‍ය ජාලය විසින් ලබාදුන් අතර සම අනුග‍්‍රාහකත්වය එල්ජී අබාන්ස් ආයතනය විසින් ලබා දෙන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි