අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 64 වන සංවත්සරය සමරයි
12:20pm on Friday 29th October 2021
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය   සිය 64 වන සංවත්සරය 2021 සැප්තැම්බර් 02 දින සමරන ලදී. 1957 සැප්තැම්බර් 2 වන දින අංක 2 පක්ෂාංගය ලෙස කටුනායකදී මෙම බලඝණය ස්ථාපිත කරන ලද අතර එහි ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී එච් මෙන්ඩිස් මහතා කටයුතු කරන ලදි.

එහි අතීත ගුවන් යානා බලඇණියට Air Speed Oxford, Prestwick Pioneer, De Havilland Dove, DC3 Dakota, S 51 Dragon fly Helicopter, Heron, Rily Heron, Cessna  337 Sky Master, HS 748 Avro, Beech 18, Cessna 421 Golden Eagle, Beechcraft B-200, SF260 SIAI Marchetti, Harbin Y-12 , Y-8 වැනි ගුවන් යානා ඇතුළු ගුවන් යානා වර්ග 17කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් විය.  මේ වන විට අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය ඇන්ටනොව් 32 බී සහ හර්කියුලිස් සී-130 ගුවන් යානා වලින් සමන්විත වේ

1991 සිට 2009 දක්වා යාපනය අර්ධද්වීපය කොළඹ හා සම්බන්ධ කරමින් වසර 20කට ආසන්න කාලයක් ගුවන් ප්‍රවාහන මෙහෙයුම් සමඟ ඊලාම් යුද්ධ සමයේදී බලඝණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ආරක්ෂක හමුදාවන්ට A-9 ප්‍රධාන සැපයුම් මාර්ගයේ පාලනය අහිමි වූ බැවිනි.

දෙවන ඊලාම් යුද්ධයේදි  භට පිරිස් ප්‍රවාහනය සහ තුවාල ලැබූ භටපිරිස් ප්‍රවාහනය සඳහා යාපනයට වඩාත්ම කඩිනම් සම්බන්ධතාවයක් මෙම බලඝණය විසින් පවත්වාගෙන ගියේය. 2009 වර්ෂයේදී අංක 2 බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබුවේ වසර ගණනාවක් ජාතිය වෙනුවෙන් කළ කැපවීමෙන් කළ සේවය අගයමිනි.

වත්මන් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන් වෙලගෙදර මහතාගේ මගපෙන්විම යටතේ චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ කරන ලද අතර ඉන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් සහ ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට උපහාර පිදීමේ උත්සවයක් ද 64 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලදී. තවද මෙම සැමරුම් උත්සවය සමගාමීව ශ්‍රමදාන ව්‍යාපාරයක්ද කදිරාන සුබෝධාරාම විහාරස්ථානයේ දානමය පිංකමක් සහ අවශ්‍යතා ඇති ළමුන් සඳහා තෑගි භාණ්ඩ ප්‍රදානයක් ද ඇතුළත් විය.

මෙම සංවත්සර සැමරුම සඳහා බලඝණයේ සීමිත නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සමඟින් ගුවන් හමුදා කටුනායක කඳවුරේ කදවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්ෂ මහතාද සහභාගී වු අතර කොවිඩ්-19 වැළැක්වීම සඳහා ගුවන් හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලුම කටයුතු පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි