ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ බෝම්බ හෙලීමේ 06 වැනි මෙහෙයුම සිදු කරයි
12:31pm on Thursday 28th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, මධ්‍යම පරිසර අධිකාරිය, මාස් පුද්ගලික සමාගම එක්ව ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ හයවන අදියර ආරම්භ කල අතර ඊයේ (2021 නොවැම්බර් 23) සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වත්තේගම කැබිලිත්ත රජයේ රක්ෂිතයේදී බීජ බෝම්බ හෙළීම සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීම සඳහා ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ගෲප් කැප්ටන් රජීව් කොඩිප්පිලි මහතාගේ නායකත්වයෙන් කටුනායක ගුවන් හමුදා කටුනායක කඳවුරු විධායක කෘෂිකාර්මික ඒකකය මෙම මෙහෙයුම සංවිධානය කරන ලදී.

මෙහෙයුමේ පළමු අදියර අක්කර පහක භූමි ප්‍රදේශයක රනෝරාව රජයේ වනාන්තරයේදී ක්‍රියාත්මක වූ අතර දළ වශයෙන් බීජ බෝම්බ 5,000 ක් මුදා හරින ලදී. දෙවැනි අදියරේදී අම්පාර ලාහුගල වනාන්තරය තුළ අක්කර 60ක භූමි ප්‍රදේශයකට බීජ බෝම්බ 67,000ක් හෙළනු ලැබීය. 2020 දෙසැම්බර් මස පවත්වන ලද තුන්වන අදියරෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය තුළ අක්කර 25ක භූමි ප්‍රදේශයකට ආසන්න වශයෙන් බීජ බෝම්බ 30.000ක් හෙළනු ලැබිණි. ලාහුගල ජාතික වනෝද්‍යානයේ අක්කර 60ක පමණ ප්‍රදේශයකට බීජ බෝම්බ 70,000ක් සිව්වැනි අදියරේදී හෙළන ලදි. පස්වැනි අදියරද කැබිලිත්ත රජයේ රක්ෂිත වනාන්තරය තුළ ක්‍රියාත්මක වූ අතර එහිදී අක්කර 75ක ප්‍රදේශයකට බීජ බෝම්බ 80,000ක් හෙළනු ලැබීය.

බීජ බෝම්බවලට කෝන්, කොහොඹ, මයිල, මාදන්, සියඹලා, මී, වීර, කිතුල් දං, පලු ආදී දේශීය වශයෙන් වටිනා ශාක ඇතුළත් විය.

මෙම මෙහෙයුමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 70ක් පමණ වූ අතර බීජ බෝම්බ 65,000ක් හෙළනු ලැබූ අතර එහි කාර්යක්ෂමතාවය උපරිම කිරීම සඳහා මෝසම් වැසි සමයට සමගාමීව මෙම මෙහෙයුම සැලසුම් කර ඇත.

තෝරාගත් ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 29.3 ක් දුරින් පිහිටි වීරවිල ගුවන් හමුදා කඳවුර මෙම කටයුත්ත සඳහා භාවිතා කරන ලදී. මෙම මෙහෙයුම සඳහා යොදාගත් එම්අයි - 17 හෙලිකොප්ටරයේ ප‍්‍රධාන නියමුවා ලෙස විංග් කමාන්ඩර් සේනක කූරගමුව කටයුතු කළ අතර සහය නියමුවා වූයේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සුදාර අමරදේව මහතාය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි