ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වැඩ භාර ගනී
8:18am on Friday 4th March 2011
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඊයේ (පෙබරවාරි 27) දින සිය ගුවන් හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගත් අතර, ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයේදී ගුවන් හමුදාපති ධූරය එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත භාරදීම සිදු විය. ඒ මහතා වෙනුවෙන් ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති ආචාර පෙලපාලියෙන් පසු නිල වශයෙන් රාජකාරී භාර දීම සනිටුහන් කරමින් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාපතිවරයාගේ යෂ්ඨිය එයාර් වයිස් මාර්ෂල් හර්ෂ ‍අබේවික්‍රම මහතා වෙත භාර‍දෙන ලදී.

1976 ජනවාරි මස 13 වන දින කෙඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට සම්බන්ධ වන රොෂාන් ගුණතිලක මහතා 1979 අගෝස්තු 24 වන දින පියසර නියමු නිලධාරියකු ලෙස අධිකාරියට පත්විය. පසුව ගුවන් හමුදාවේ විවිධ තනතුරු හොබවමින් රාජකාරීයේ නියුතු වූ ගුණතිලක මහතා 2006 ජූනි මස 11 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 12 වන හමුදාපතිවරයා ලෙස එම ධූරයෙහි රාජකාරී භාරගත් අතර, එතැන් පටන් මේ දක්වා කාලය තුල ගුවන් හමුදාවට බොහෝ ජයග්‍රහණ හිමිකර ගැනීම උදෙසා නායකත්වය හා උපදෙස් ලබා දීමට හැකි වීම විශේෂත්වයකි.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාරගත් එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා කොලඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1980 අගෝස්තු මස 03 වන දින ආධුනික කෙඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට බැඳී 1982 අප්‍රේල් මස 03 වන දින පියසර නිලධාරියකු ලෙස අධිකාරියට පත්ව ගුවන් හමුදා සේවයට එක්විය.

එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ලෙස හා ගුවන් හමුදා පියසර පුහුණු අංශයේ සේනා විධායක, තවද ප්‍රහාරක බලඝණ, වීන වරාය, අනුරාධපුර, රත්මලාන, පලාලි ආදි ගුවන් හමුදා කඳවුරුවල අණදෙන නිළධාරිවරයා ලෙසද කටයුතු කර තිබීම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි