එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට
4:50pm on Tuesday 26th July 2022
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවන්ට අයත් භට අනුඛණ්ඩයක් ස්ථානගත කර තිබූ OUANDA-DJALLE දරණ ස්ථානයකට එරට සන්නද්ධ කැරලිකාර කණ්ඩායමක් වන CPC (වෙනස සඳහා දේශපේ‍්‍රමීන්ගේ සන්ධානය) සංවිධානය විසින් එල්ල කරන ලද හදිසි ප‍්‍රහාරයක් වැළැක්වීමට සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් සක‍්‍රිය දායකත්වය ලබාදෙන ලදී. මෙහිදි දෙපාර්ශවය අතර දරුණු වෙඩි හුවමාරුවකින් පසු එම ප‍්‍රදේශයේ බලය අත්පත් කරගැනීමට එරට රජයේ හමුදා සමත් වු අතර මෙම ක‍්‍රියාන්විතය සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව දැක්වු දායකත්වය වෙනුවෙන් මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප‍්‍රධානි විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ ඇගයීමකට ලක්කරන ලදී.

මෙම ක‍්‍රියාන්විතය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයට අයත් සන්නද්ධ හෙලිකොප්ටර් යානා දෙකක් උපයෝගි කරගත් අතර එමගින් ගොඩබිම් මෙහෙයුම් භටයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඉතා සාර්ථක ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කරන ලදි. මෙම ප‍්‍රතිප‍්‍රහාරයෙන් පසුව CPC සන්නද්ධ කැරලිකාර කණ්ඩායම නගරයෙන් පලවා හැර එම ප‍්‍රදේශයේ බලය අත්පත් කරගැනීමෙන් පසු සිවිල් ජනතාවට නැවත ඔවුන්ගේ නිවාස වෙත ගොස් විශ්වාසවන්තව පදිංචි වීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලදී.

මෙහිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් ඔවුන්ටම ආවේණික වු නිර්භීතභාවයකින් සහ ධෛර්ය සම්පන්නව ඒකක අණදෙන නිලධාරිවරයාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කළ අතර එම නිර්භීත ක‍්‍රියාව එරට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩිකි ට්‍රෝරේ විසින් බෙහෙවින් අගය කරමින් ප‍්‍රශංසාත්මක ලිපියක් නිකුත් කරන ලදී.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සදහා මෙරට භට පිරිස් යෙදවීමෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් ජාතික භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර අනාගතයේදී එවැනි මෙහෙයුම් සඳහා සහභාගි වීමට මෙම ක‍්‍රියාව ඉමහත් දායකත්වයක් ලබා දෙනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි