ගුවන් හමුදා ගායක සාරංග 'රණවිරු රියල් ස්ටාර්' අවසාන දහදෙනා අතරට
12:21pm on Monday 4th April 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පියාසර නිළධාරී සාරංග ක්‍රිෂාන්ත 'රණවිරු රියල් ස්ටාර්' ගායන තරඟයේ අවසාන දහදෙනා අතරට තේරී පත්ව ඇත. 'රණවිරු රියල් ස්ටාර්' ගායන තරඟ පෙරහුරු කටයුතු නිසා ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ගුවන් හමුදා ගායක සාරංග ගුවන් හමුදා මාධ්‍ය ඒකකයට මෙසේ අදහස් දැක්වීය.


තංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පියාසර නිළධාරී සාරංග කුඩාකල පටන් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතාවයන් රැසක් පෙන්වා ඇත. මීට ඔහුගේ පවුල් පසුබිමත් ඉවහල් විය. මෙතුමාගේ පියාද සංගීතය මනාව හදාරා ඇත. තවද ඔහු 'හේහුඩ්' ජාතික සංගීත පාසලේ ජාතික මට්ටමේ සහතික පත්‍රයක්ද ලබාගෙන සිටීම විශේෂත්වයකි. මෙතුමාගේ පියාගෙන් ලද සංගීත දැනුමත් දිරිගැන්වීමත් සමගම ඉතා දිගු ගමනක් ඒමට හැකි විය. තවද සාරංග හින්දුස්ථානී සංගීතයද හදාරා ඇත.


මෙතුමා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හා සංගීතය හදාරා ඇත. පිළිවෙළින් සා.පෙළ හා උ.පෙළ විභාගවලින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත් අතර අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයද ලබා ගත්තේය.

2000 වසරේදී කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධරවරයෙකු ලෙස පිදුම් ලැබීය. විශ්වවිද්‍යාලයේදී ප්‍රධාන විෂය ලෙස 'වයලීනය' හැදෑරු මෙතුමා තම ගායන හැකියාව දියුණු කිරීමටද අමතක කළේ නැත. මෙම කාල වකවානුවේදී සාරංග විශ්වවිද්‍යාලයේ පැවැති අන්තර් විශ්වවිද්‍යාල ජන හා ශාස්ත්‍රීය ගායන තරඟවලදී ජයග්‍රහන රැසක් හිමි කර ගැනීමට සමත් විය.


ඉන් පසු මෙතුමා 2007 වසර දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරන ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ සාරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිළධාරියෙකු ලෙස එක්විය. මෙහිදී සාරංග උගත් වටිනා පාඩමක් වන්නේ, 'සංගීතය හුදෙක් විනෝදාංශයක් නොවේ නමුත් එය වගකීමකි මෙම අංශය දියුණු කිරීමට අවශ්‍ය මනා පුහුණුව ලබා දිය යුතුය'. වර්තමානයේදී මෙතුමා ගුවන් හමුදාවේ සංගීත එකකයේ නිළධාරීවරයෙකු ලෙස සේවය කරයි.


සංගීත ඒකකයේ අණදෙන නිළාධාරීවරයා වන බළඝණ නායක මහීල් චන්දන අමරසිංහගේ පොළඹවීමෙන් සාරංග 'රණවිරු රියල් ස්ටාර්' නවතම රියලිටි සංගීත වැඩසටහනට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන ලදී. මේවන විට සාරංග අති විශාල ජනතා ප්‍රසාදය හා විනිසුරු මණ්ඩලයේ ගෞරවයටත් පත්‍රව සිටින ගායන තරුවක් බව නොරහසකි. බොහෝ දෙනෙක් සංගීතය විනෝදාංශයක් ලෙස සැලකුවද, සාරංග නැමැති සංගීතවේදියාගේ ජීවිතයම සංගීතය වෙනුවෙන් පුදකර තිබීම විශේෂත්වයකි.


මෙවන් දක්ෂ ශිල්පියෙකුගේ ඉදිරි ගමන සාර්ථක කිරීමට හා ඔහුගේ ඉලක්කය වෙත යොමු වීමට ඔබ සියලු දෙනාට ලබා දිය හැකි වටිනා 'කෙටි පණිවිඩය' ලබාදී සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලා සිටි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි