එයාර් වයිස් මාර්ෂල් අරෝෂ විතාන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
11:10am on Wednesday 8th February 2023
එයාර් වයිස් මාර්ෂල් අරෝෂ සුරේන්ද්‍ර විතාන  වසර 34ක ජාතිය වෙනුවෙන් කැප වූ සේවයෙන් පසු 2023 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ තනතුර දරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් අරෝෂ සුරේන්ද විතාන විසින් 2023 ජනවාරි 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ කාර්යාලයේදී නිල සමුගැනීම සිදු කරන ලද අතර. ගුවන් හමුදාධිපතිතුමන් විසින් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට වසර ගණනාවක් කැපවී කරන ලද සේවය අගය කල අතර අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් විතාන මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර 2023 ජනවාරි 18 වන දින ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්  ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඔහු 1988 මැයි 17 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  19 වැනි කැඩෙට් නිලධාරියකු ලෙසින් එක්වී දැනට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්ෂාංගය ලෙස හඳුන්වන තාක්ෂණික සංඥා අංශයට කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වූ අතර 1990 ජූලි 17 වන දින නියමු නිලධාරියෙකු ලෙස උසස්වීම් ලබන ලදී.

එයාර් වයිස් මාර්ෂල් විතාන මහතාට සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අංශ වල  අත්දැකීම් ලබා ඇත. වසර 34ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් සේවා දිවිය තුළ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ කදවුරු රැසක සේවය කර ඇති අතර අංක 01 සහ අංක 02තොරතුරු තාක්ෂණ පක්ෂාංග, ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පක්ෂාංග පිහිටුවීමට මූලිකත්වය දරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් විතාන මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන්  තොරතුරු තාක්ෂණ උපාධියක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක කළමනාකරණය පිළිබඳ  උපාධියක්, මැලේසියාවේ ආසියාවේ විද්‍යුත් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු ආරක්ෂාව පිළිබඳ  උපාධීන් ලබා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ පත්වීමක් ලබා ඇති අතර ගුවන් හමුදා හෑන්ඩ් බෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහුගේ විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් ඔහු  සේවා දිගු සේවා පදක්කම සහ "උත්තම සේවා පදක්කම" වලින් පිදුම් ලබා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි