ආනන්ද විද්‍යාලය විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් හට උපහාර පුද කරයි
10:57am on Friday 21st July 2023
සමාජයේ ඉහළම පිළිගැනීමක් සහ ජයග්‍රහණ අත්කරගත් පුද්ගලයන් ඇගයීමේ සම්ප්‍රදායට අනුව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් අභිනවයෙන් පත් වූ 19 වන ගුවන් හමුදාපතිවරයා සහ එහි ආදි ශිෂ්‍ය එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත 2023 ජූලි 17 වන දින විද්‍යාල පරිශ්‍රයේදී  උපහාර පුද කරන ලදී.  

ආනන්ද විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලය සම්බන්ධ වූ විශිෂ්ට සංදර්ශනවලින් උත්සවය සනිටුහන් විය. විද්‍යාලයේ බාලදක්ෂයින් විසින් එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා උත්කර්ෂවත් ලෙස ආචාර කරමින් පිළිගත් අතර ශිෂ්‍යභට ඛණ්ඩය සහ ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම විසින් ආචාර පෙළපාලියක්ද සිදුකරන ලදී.ආනන්ද විද්‍යාලයෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමින් උපහාර දැක්වීය.

ආනන්ද විද්‍යාලයේ ද්විතීයික අධ්‍යාපනයේදී තමාට ලැබුණු ශක්තිමත් පදනම 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමට මග පෑදුණු බව වත්මන් ආනන්දියන් සමඟ සෘජුව අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේය. තමා ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ සේවය කළ සියලුම ගුරුභවතුන් වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ දේශනයෙන් අනතුරුව විද්‍යාලයීය විදුහල්පතිතුමා විසින් ගෞරවනීය "අනදාභිනන්දන" විශේෂ ඇගයීම් සංකේතයක් පිරිනමන ලදී. ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති යන මහත්වරුන් ඉදිරියේ මෙම සුවිශේෂී අවස්ථාව සිදුවිය.

මෙම සම්භාවනීය උත්සවයට හිටපු පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදා ආදි ආනන්දීයන්,ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි