ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මියගිය විරුවන්ට සහ සේවයේ නියුතු සාමාජිකයින්ට උපහාර දැක්වීමේ උත්කර්ෂවත් වාර්ෂික දානමය පිංකම පවත්වයි
11:51am on Wednesday 25th October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අඛණ්ඩව 13 වැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික ආගමික උත්සවය සහ දානමය පුණ්‍ය මහෝත්සවය ඔක්තෝම්බර් මස 22 වන දින සහ 23 වන දින  ශ්‍රී දළදා මාලිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවයේ මූලික අරමුණ වූයේ තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සක්‍රිය සේවයේ යෙදී සිටින සේවාපුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමයි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් 2023 ඔක්තොම්බර් මස 22 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මාලිගාව අබියසදී අප මාතෘභූමිය වෙනුවෙන් සිය සියලු කැපකිරීම් කළ අභීත පුද්ගලයින් වෙනුවෙන් ආගමික ආශිර්වාද පුද කරන ලදී.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා 72 නමකට පුද පූජා ඇතුළත් දානමය පුණ්‍යකර්මය 2023 ඔක්තෝම්බර් 23 වන දින අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන්ගේ වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාවේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින්ගේ සාමූහිකත්වය  සංකේතවත් කරමින්  අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේලාගෙන් ආශිර්වාදය ලබාගන්නා ලදී.

මෙම වසරේ උත්සවය සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, සියලුම කඳවුරු අණදෙන නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය මියගිය විරුවන්ගේ ආදරණීය පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි