ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීමට ගුවන් හමුදාධිපතිවරයා එක්සත් ජනපද තානාපති හමුවෙයි
4:27pm on Tuesday 9th January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චුන්ග් මහත්මියගේ ආරාධනයෙන් 2024 ජනවාරි 04 වන දින සුහද හමුවක් පවත්වන ලදී. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුව තිබේ.

තානාපතිවරියගේ ආරාධනයට අනුව, අලුතින් ඉදිකරන ලද එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රය තුළ හඳුන්වාදීමේ සංචාරයක් පැවැත්විණි. ඉන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු කරමින්, තානාපති කාර්යාලයේදී සුහද සාකච්ඡාව  ආරම්භ විය. සමුද්‍රීය නිරීක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ ගුවන් හමුදා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහය ලබා ගැනීම සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා ගවේෂණය කිරීම මූලික අරමුණු විය.

 මෙම සාකච්ඡා එක්සත් ජනපද රජය විසින් ලබා දීමට අපේක්ෂා කරන ලද Beechcraft KA 360ER පිළිබද  විශේෂයෙන්  අරමුණු වී ඇත. මීට අමතරව, ඉදිරියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා C-130H සහ TH-57 හෙලිකොප්ටර් යානා ඇතුළත් කිරීමේ ශක්‍යතා තක්සේරු කිරීම සඳහා අතිරික්ත ආරක්ෂක වගන්ති (EDA) රාමුව යටතේ සාකච්ඡා පවත්වන ලදී.

 මෙම හමුවේදී ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රදානයක් ලෙස ගුවන් හමුදාවට අත්‍යවශ්‍ය C-130 අමතර කොටස් සහ සෙවීම් සහ මුදවාගැනීමේ උපකරණ ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට කෘතඥතාව පළ කළේය.

වැදගත් සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සම්භාවනීය අමුත්තන් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් නෙල්සන් ඇන්තනි මහතා සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ නියෝජිතයෙක් සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් ලේකම් එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න, ගුවන් මාණ්ඩලික නිලධාරී I ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සහ මාණ්ඩලික නිළධාරී සන්ධාන, විංග් කමාන්ඩර් නවීන් ගුණරත්න යන මහත්වරු මෙම සාකච්ඡා සඳහා සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි