එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
2:56pm on Sunday 21st January 2024
එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන 2024 ජනවාරි 13 වන දින, ජාතිය වෙනුවෙන් වසර 32කට අධික කාලයක සෙවයෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමුගන්නා ලදි. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන විසින් 2024 ජනවාරි 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ කාර්යාලයේදී නිල සමුගැනීම සිදු කරන ලදී. අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලවලදී ඔහු ප්‍රධාන කොටස්කරුවන්ගෙන් කෙනෙකු වූ බවත්, ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන්හමුධාදිපතිතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. අනතුරුව, අවසන් වරට ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර ඔහුට 2024 ජනවාරි 12 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ජාතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි  ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් විසින් එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන මහතා වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ  පරිශ්‍රයේදී මෙසේ සිදු කරන ලදි.

එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන මහතා 1988 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ශිෂ්‍යභට  නිළධාරි  පාඨමාලාවේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කදවුරේදී මූලික සටන් පුහුණුව ලබා පසුව රෙජිමේන්තු ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස උසස් පුහුණුව සම්පූර්ණ කළේය. ඔහුගේ පුහුණුව අවසන් වූ පසු, 1990 දී ගුවන් නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලද අතර පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ රෙජිමේන්තු පක්ෂාංගයට පත් කරන ලද අතර එහිදී ඔහු වසර 5 ක් සේවය කළේය. 1995 දී  ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරේ පැවති පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසලේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ පුහුණුව සාර්ථකව නිම කරන ලදී.


එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන ඉන්දියාවේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඉන්දියාවේ උසස් ආරක්‍ෂක කළමනාකරණය, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව ඇතුළු සිය අධ්‍යයන දිවියේ පාඨමාලාවන්  රැසක් හදාරා ඇත.  පකිස්ථානයේ ගුවන් යානා බෝම්බ නඩත්තු පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හි අර්බුද කළමනාකරණ පාඨමාලාව මෙන්ම බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් "ndc" යන කීර් තිමත් නාමයද හිමිකරගෙන ඇත. ඊට අමතරව ඔහු එක්සත් රාජධානියේ පුපුරණ ද්‍රව්‍ය ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි.

ඔහුගේ හමුදා දිවිය තුළ සතුරා හමුවේ විශිෂ්ඨ හැසිරීම වෙනුවෙන් ‘රණ සූර පදක්කම’ ද, සුවිශේෂී හැකියාව සහ නොකැළැල් හැසිරීම වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද ඔහුට හිමි වී ඇති අතර  ‘පූර්ණ භූමි පදක්කම’, ‘උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම’, ‘50 වැනි සංවත්සර (ශ්‍රී ලංකා ගුවන් හමුදා) පදක්කම, ‘ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම’, ‘රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම’, '50 වැනි නිදහස් සංවත්සර පදක්කම', ආදර්ශමත් නායකත්වය සහ කීර්තිමත් සේවය සඳහා උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ලබා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි