ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති
එයාර් මාර්ෂල්
ආර් ඒ යු පි රාඡපක්ෂ
RSP and two Bars, VSV, USP, MSc (MOA) USA, MSc (Def Stu) in Mgt, MA in IS&S (UK), BSc (Def Stu), MIM (SL), AMIE (SL), rcds, psc

ආර්.ඒ.ඩී සෝමතිලක රාජපක්ෂ මහතාට සහ වී.පීප්‍රේමාවති මහත්මියට දාව උපන් උදේනි රාජපක්ෂ මහතා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනි දරුවා විය. ආර්.ඒ.එස් උදයංග රාජපක්ෂ මහතා වැඩිමහල් සොහොයුරා වු අතර ආර්.ඒ.ඩී ජීවනි රාජපක්ෂ ඔහුගේ බාල සොහොයුරිය විය. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගමිපහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඹා පසුව ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර ඇති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂ්‍යයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. ඉන් පසු 1988 වසරේදි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක06 බදවා ගැනිමේ කණ්ඩායමට ඇතුලත්වන ලදි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ත්‍රිවිධහමුදා නිළධාරින් අතරින් ගුවන්නියමුවන් තෝරා ගැනිමේ යෝග්‍යතා පරික්ෂනයෙන් සමත්විමෙන් අනතුරුව මුලික ගුවන් යානා පුහුණුව සදහා අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය යටතේ අංක 33 පියාසර කෙඩෙට් නිලධාරි පාඨමාලාව තුළින් තම මුලික පියාසර පුහුණුවිම් සිදුකල අතර එහිදී දක්ෂතම පියාසර කෙඩෙට් නිලධාරියා විය. ඉන් පසුව 1990 වසරේ ඔක්තොම්බර් මස 05 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විද්යුත් ඉංඡිනේරු උපාධිය ලබා ගනිමින් ගුවන් නියමුවකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට එක්විය.

තම සේවා කාලය තුල අතිදක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ¸පුකාරා (PUCARA) ප්‍රහාරක ගුවන් යානා පදවමින් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත් CESSNA-150 (සෙස්නා-150) , Y-12(වයි-12) ඇවුරෝ, ලෂමාශෙටිටි- 260TP බිචික්‍රාෆ්ටි-200T, AN 32 (ඇන්ටනෝ -32) සහ සී-130 ගුවන් යානා පදවමින් ප්‍රවාහන ගුවන් නියමුවකු ලෙසත් තම මව්බිමට සේවය කර ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු හට ලැබියහැකි ඉහලම ශ්‍රේණිගත කිරිමවන,මාස්ටර් ග්‍රීන්,ශ්‍රේණිගත කිරිමටඋරුමකම් කියන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිවිල් ගුවන් යානා බලපත්‍ර ලාභියකු හා සිවිල් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු සතු වානිජ ගුවන් ප්‍රවාහන ගුවන් නියමු(ATPL) බලපත්‍ර ලාභියකු ද වන අතර ගුවන් පැය 7000 අධික ප්‍රමාණයක් පියාසර කර ඇති අත්දැකිම් බහුල ගුවන් නියමුවෙකු ද වෙයි.

1997 වසරේ දි මානුෂිය මෙහෙයුමට සමිබන්දව PUCARA ප්‍රහාරක ගුවන් යානයකින් සතුරු ඉලක්කවෙත රාත්‍රී ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටි අවස්ථාවකදි තම ගුවන් යානයේ ඇතිවු හදිසි තත්වයක් මත ගුවන්යානයෙන් ඉවත්වීම(Night Ejection) ඔහු විසින් සිදු කල වික්‍රමාන්විත ක්‍රියා අතරින් ප්‍රධාන තැනක් ගනී. සටන් මෙහෙයුමක යෙදී සිටියදී එවැනි හදිසි අවස්ථාවකදී සාර්ථකව ගුවන් යානයෙන් ඉවත්විම මෙන්ම තනිවම මුහුණදීමට ඇති ධෛර්යය සහ ඔහුගේ නිර්භීතකම පැසසුමට ලක්කරමින් Martin Baker Aircraft Limited විසින් ඔහුට ලෝකප්‍රකට Eject Tie Club හි සාමාජිකත්වයද පිරිනමන ලදි. තවද ගුවන් යානයක් තුළ ඇතිවූ දරුණු හා හදිසි අවස්ථාවක් රාත්‍රී කාලයේදී භීතියකින් තොරව හසුරුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඔහුට ඇගයීම් ලිපියක්ද (Letter for Commendable action) පිරිනමා ඇත. තවද 1992 වර්ෂයේදී Y- 12 ගුවන් යානයකින් ම හෙයුම් සිදු කරන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් මනාව හසුරුවමින් හා ඉතා අවම හානියකින් ගොඩ බැසීම හේතුවෙන් ද ගුවන් හමුදාව විසින් ඔහුට සහතිකයක්(Green Endorsement) පිරිනමා ඇත.

ගුවනින් ගොඩබිම් සටන් වලට හා සටන් ආධාරක මෙහෙයුම් සදහා දායකත්වය දක්වමින් සෑම හමුදා මෙහෙයුමක් සදහාම සක්‍රිය දායකත්වය දක්වා ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වන්නි වික්‍රම II සහ III යාපනය අර්ධද්වීපය මුදා ගැනීම සඳහා මෙහෙය වූ ජයසිකුරු මෙහෙයුම, රිවිරැස මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම,ඉදිරිපිම්ම මෙහෙයුම, පුනරින් සහ මුලතිව් හමුදා කඳවුර මුදවා ගැනීම යන මෙහෙයුම් ඔහුගේ හමුදා දිවිය තුළප්‍රධාන තැනක් ගනි. උතුරු හානැගෙනහිර හා මානුෂීය මෙහෙයුම් පදක්කම් ලාභියෙක් වන අතර නොකැළැල් චරිතය සහ අපක්ෂපාතී සේවය අගයමින් විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම,මෙන්ම සතුරා ඉදිරියේ පිළිබිඹුවූ සටන් නිපුනත්වය, සටන්කාමීත්වය හා නිර්භීතකම සලකමින් ඔහු තෙවරක්ම රණශූර පදක්කම (Gallantry Medals) ලබා ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති අතර රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අනුයුත්තව ආරක්ෂක උපදේශක කවුන්සල්වරයා ලෙස කටයුතු කරමින් විදේශ සේවා පදක්කම ද ලබා ඇත. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ රත්මලාන අංක 2 ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරිවරයා ලෙසද ගුවන් හමුදා හිගුරක්ගොඩ,වවිනියාව හා කටුනායක ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරිවරයා ලෙස දකටයුතු කළ අතර ඔහු ගුවන් ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨයේ පිඨාධිපතිලෙස ද කටයුතු කර ඇති අතර නැගෙනහිර ගුවන් ආඥාපති හා දක්ෂිණ ගුවන් ආඥාපති ලෙසද කටයුතු කරඇත. අනතුරුව ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ගුවන් හමුදාවේ ප්‍රධාන තනතුරු හොබවා ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ප්‍රධාන හමුදා රාජකාරීන්ට අමතරව ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුරද හොබවා ඇති අතර අතිදක්ෂ ක්‍රිඩකයෙක් වන අතර මේසපන්දු, ටෙනිස් සහ ගොල්ෆ් යන ක්‍රීඩා සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහන රැසක් ලබාගෙන ඇත. ඊගල්ස් අභියෝගතා ගුවන් හමුදාධිපති කුසලානය 2021වසරේදී දිනාගන්නා ලදී. 2010 සහ 2021 වසරවලදී පිළිවෙලින් ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රිඩාවන් සඳහා ශ්‍රී ලංකා ගුවන්හමුදා වර්ණ දිනා ඇති අතර එයින් ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍ය මනාව නිරූපනය වේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා ද්විත්වයකට ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ දිනා ගත් ක්‍රීඩකයන් අත ලොස්ස අතරට ඔහුද එක් වි ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි