PT-6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
5:37pm on Thursday 17th August 2023
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයට අයත් PT-6 පුහුණු ගුවන් යානයක් 2023 අගෝස්තු 07 වන දින උදෑසන විද්‍යාපීඨ පරිශ්‍රය තුළදී කඩා වැටුණි. උදෑසන 11.25 ට පමණ චීන වරාය ගුවන් තොටුපළෙන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු, ආසන්න වශයෙන් උදෑසන 11.27 ට මෙම සිදුවීම සිදුවිය. ගුවන් අනතුරින් ගුවන් නියමුවා, විංග් කමාන්ඩර් තරිඳු හේරත් සහ ඉංජිනේරු නිලධාරී, පියාසර නිලධාරී පේෂාන් වර්ණසූරිය යන නිලධාරීන් දෙදෙනාගේ ජීවිත ඛේදජනක ලෙස අහිමි විය.

සිද්ධියෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලදී. තවද, ගුවන් හමුදාපතිවරයා අනතුරට පත් වූ ස්ථානයට ගොස් තත්ත්වය පිළිබද නිරික්ෂණය කරන ලදී.

විංග් කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ අතර 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගැනීමේ 49වන සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක් විය. තවද, පියාසර නිලධාරී පේෂාන් වර්ණසූරිය, කුරුණෑගල ශාන්ත අන්තෝනි විද්‍යාලය ආදි ශිෂ්‍යයෙකි. 2017 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ගුවන් සහ සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ 35 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙසය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි