රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවති 75 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනයේ සමාරම්භක උත්සවය ජනාධිපති සහ ගුවන් හමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු 06 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී පැවැත්විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් පිළිගනිමින් ගුවන් හමුදා ගෞරව පුද කරන ලදී.

විධිමත් පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මගින් පවත්වන ලද විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට ජනාධිපතිතුමා එක් විය. පසුව ප්‍රදර්ශන භූමියේ සංචාරයක නිරත වූ අතර එහිදී ගුවන් ඉංජිනේරු විද්‍යාව, ගුවන් සේවා තාක්ෂණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් ඉස්මතු කරන අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශන කුටි මාලාවක් ස්ථාපිත කර තිබුණි.

මෙම සංචාරය අතරතුර ගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීමට ගිය අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා විශේෂ සමරු සටහනක් තැබීය. මෙම අවස්ථාව සැමරීම සඳහා ගුවන් හමුදාපතිතුමා අතිගරු ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 75 තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් උරුමය සහ කීර්තිමත් සේවය මහජනතාව සමඟ බෙදා ගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර ඇත. මෙම අවස්ථාව නරඹන්නන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් ගුවන් යානා සහ තෝරාගත් සිවිල් ගුවන් යානා සමීපව නැරඹීමට දුර්ලභ අවස්ථාවක් ලබා දෙන අතරම ඒවායේ තාක්ෂණික පිරිවිතර සහ මෙහෙයුම් භූමිකාවන් පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දී තිබුණි.

මීට අමතරව විවිධ ගුවන් හමුදා අංශ සහ වෘත්තීන් නියෝජනය කරන ඒ ඒ වෘත්තීන් අදාලව කුටි ස්ථාපිත කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ඇති විවිධ වෘත්තීය අවස්ථා සහ විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි විය.

මෙම වැඩසටහනේ විවිධ මෙහෙයුම් සහ උත්සවාකාර නිරූපණ ඇතුළත් වන අතර ඒවාට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් මගින් ගුවන් සංදර්ශන, ප්‍රවාහන ගුවන් යානා සහ ජෙට් ගුවන් යානා, රාත්‍රී ඩ්‍රෝන ආලෝක සංදර්ශන, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 48 K-9 පක්ෂාංගයේ නිරූපණ, විශේෂ බලකා සටන් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සමාකරණ, ගුවන් යානා ගිනි නිවීමේ නිරූපණ, පැරෂුට් සංදර්ශන, නිරවද්‍ය සරඹ සංදර්ශන, සාම්ප්‍රදායික අංගම්පොර සටන් කලා නිරූපණ සහ සංස්කෘතික සංදර්ශන රාශියක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් පියාසර බලඝණ විසින් පවත්වන ලද ගුවන් සංදර්ශන අතරතුර දේශීය ගුවන් පුහුණු ඇකඩමි සහ වාණිජ ගුවන් සේවා ක්‍රියාකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගුවන් සංදර්ශනය තවදුරටත් වැඩිදියුණු විය. ගුවන් පුහුණු ඇකඩමි ලෙස ක්‍රියා කරන රත්න ගුවන් සේවා, සෙනොක් ගුවන් සේවා, ලක්වින් ගුවන් සේවා, රෙඩ් බර්ඩ් ගුවන් සේවා, ආසියානු ගුවන් සේවා, සකුරායි ගුවන් සේවා සහ ඩීපීී ගුවන් සේවා නියෝජනය කරන ගුවන් යානා, උත්සවයේ පියාසර ප්‍රදර්ශන අංශයට ඇතුළත් විය. ගුවන් සේවා ප්‍රදර්ශනය තවදුරටත් පොහොසත් කරමින් ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවය වන සිනමන් එයාර් සහ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ද ගුවන් සංදර්ශනයට සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි මෙහෙයුම් හැකියාවන් සමඟ රටේ ගුවන් සේවා අංශයේ පුළුල් පරාසය ඉස්මතු කරන ලදී.

ගුවන් හමුදා 75 වන සංවත්සර ප්‍රදර්ශනයේ සහ ගුවන් සංදර්ශනයේ සමස්ත සම්බන්ධීකරණය සහ සැලසුම් කිරීම අධ්‍යක්ෂ ජෙනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා විසින් මෙහෙයවන ලදී. උත්සවය අවසන් වන තෙක් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීරගේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.

75 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය 2026 මාර්තු 06 සිට 08 දක්වා දිනපතා පැය 1400 සිට 2200  පැය දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී මහජනතාව සඳහා විවෘත විය.

සමාරම්භක උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ද විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික බලකායේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි