6 වන පකිස්තාන–ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදය සාර්ථකව පැවැත්වෙයි
6 වන පකිස්තාන–ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදය 2026 ජූලි 03 දින ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. මෙම සංවාදයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු දෙරටේ ආරක්ෂක ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතාගේ සම-සභාපතිත්වයෙන් පැවති මෙම වාර්ෂික සංවාදයේදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

සාකච්ඡාවලදී ආරක්ෂක සහයෝගීතාව, හමුදා පුහුණුව, වෘත්තීය හමුදා අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග, ධාරිතා සංවර්ධනය සහ කලාපීය ආරක්ෂාව ඇතුළු දෙරටටම වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සහ පකිස්තාන ආරක්ෂක අංශ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, පුහුණු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ප්‍රසංක මාටිනෝ මහතාද එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි