ගුවන් හමුදාපතිතුමන් ගුවන් හමුදා මොරවැව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 ජූලි 05 දින මොරවැව ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික  පරීක්ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදාපතිවරයා කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී, මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිලේන්ද්‍ර පෙරේරා නිළධාරීතුමන් විසින් පිළිගනු ලැබීය.

පරීක්ෂණය අතරතුරදී ගුවන් හමුදාපතිවරයා කඳවුරු මූලස්ථානය, ප්‍රධාන ආරක්ෂක කාමරය, අංක 44 රෙජිමේන්තු විශේෂ බලකා අංශය, අංක 34 රෙජිමේන්තු පක්ෂාංගය, අවි ගබඩාව, ප්‍රවාහන අංශය, ගිනි නිවන අංශය, රෝහල, නිලධාරී සහ සෙසු නිලයන්ගේ භෝජනාගාර, සමාජ ශාලා, නවාතැන් පහසුකම්, සුභසාධන සංකීර්ණය, සහල් මෝල හා ගබඩා ඇතුළු කඳවුරේ ප්‍රධාන ස්ථාන නිරීක්ෂණය කරමින් මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන පහසුකම් පිළිබඳ සමාලෝචනය කරන ලදී.

කඳවුරට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැක්වූ කැපී පෙනෙන සේවය අගයමින් විදුලි කාර්මික ශිල්පී III ලෙස සේවය කරන කෝප්‍රල් ජයසුන්දර බී.එන්. වෙත ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රශංසා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

පරීක්ෂණය අවසානයේ කඳවුරු කාර්ය මණ්ඩලය අමතමින් ගුවන් හමුදාපතිවරයා, කඳවුර ඉහළ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාම සඳහා ඔවුන් දක්වන කැපවීම සහ වෙහෙස මහන්සිය අගය කළේය. එමෙන්ම, දක්ෂ විශේෂ බලකා සාමාජිකයින් බිහිකිරීම සහ ගුවන් හමුදාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන ලබාදීමේදී මොරවැව ගුවන් හමුදා කඳවුර ඉටු කරන වැදගත් කාර්යභාරයද අවධාරණය කළේය.

තවද, ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම සඳහා තාක්ෂණික හැකියාවන් අඛණ්ඩව සංවර්ධනය කිරීමේ වැදගත්කමද ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි