ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා වැඩසටහන් තවදුරටත් තීව්‍ර කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන දිවයින පුරා තීව්‍ර ලෙස ක්‍රියාත්මක කරමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය පිරිස් බලමුලු ගන්වා ඇත.

මෙම ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 ජූලි 05 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතා ගුවන් හමුදා ඩෙංගු මර්දන වැඩසටහනේ සමස්ත සම්බන්ධීකාරක ලෙස පත් කරන ලදී.

ඒ අනුව භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ විශේෂ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති අතර විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ආර්.ඩී.එම්.පී. රන්රජීවන මහතා එහි ලේකම්වරයා ලෙස පත් කර ඇත. මෙහෙයුම් කටයුතු අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඩෙංගු මර්දන මෙහෙයුම් මැදිරියක් ද එදිනම ස්ථාපිත කර ඇත.

ඩෙංගු අවදානම ඉහළ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින්, කටුනායක ගුවන් හමුදා කඳවුර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුර, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල, ශ්‍රී ජයවර්ධනපුර, රත්මලාන සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු වෙත ඉලක්කගත ඩෙංගු මර්දන සහ වැළැක්වීමේ කටයුතු භාර දී ඇත.

එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මීගමුව, පිළියන්දල, සීදූව, ජා-ඇල සහ කළුතර යන ප්‍රදේශවල අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ගුවන් හමුදා ඒකක පත් කර ඇත.

මීට අමතරව කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බේරේ වැව අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය, සීදූව දුම්රිය ස්ථානය, ලියනගේමුල්ල දුම්රිය ස්ථානය, 18 කණුව දුම්රිය ස්ථානය ඇතුළු ස්ථාන රැසක ද ඩෙංගු මර්දන සහ පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා ගුවන් හමුදා කණ්ඩායම් සහාය ලබා දෙයි.

එමෙන්ම වෙට්ටුමකඩ, මීගමුව, නුවරඑළිය, සීගිරිය, අම්බලන්තොට, තිලිප්පලෙයි, මන්මුනේ උතුර, කිලිනොච්චිය, තිස්සමහාරාමය, තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, කුණ්ඩසාලේ, කුරුඳුවත්ත, කීරිමලේ, මඩකලපුව, බත්තරමුල්ල, කටුවන, වවුනියාව, දඹුල්ල, මැණික්හින්න, අරණායක සහ රඹුක්කන ඇතුළු ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම් අනුව ද ගුවන් හමුදාව සිය දායකත්වය ලබා දෙමින් සිටී.

මෙම ජාතික වැඩසටහන ආරම්භ වූ දින සිට මේ දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 1,488 දෙනෙකු මෙම මෙහෙයුම සඳහා කැපවී සිටින අතර, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම තුළින් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි