හැව්ලොක් සිටිහිදී උස් ගොඩනැගිලි ගිනි නිවීමේ හා මුදාගැනීමේ අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් සේවය විසින් උස් ගොඩනැගිලි මුදාගැනීමේ (High-Rise Building Rescue - HRBR) සහ ගිනිගැනීම් හේතුවෙන් ගොඩනැගිලිවලින් පුද්ගලයින් ඉවත් කිරීමේ අභ්‍යාසයක් 2026 සැප්තැම්බර් 16 වන දින කොළඹ හැව්ලොක් සිටිහිදී පවත්වන ලදී. ආසන්න වශයෙන් මීටර් 98.01ක උසකින් යුත් මෙම ගොඩනැගිල්ලේ පවත්වන ලද පළමු ගිනිගැනීම් හේතුවෙන් පුද්ගලයින් ඉවත් කිරීමේ සහ උස් ගොඩනැගිලි මුදාගැනීමේ අභ්‍යාසය මෙය විය.

ගිනිගැනීම්, විෂ සහිත දුම, තුවාල ලැබූ පුද්ගලයින් සහ උස් ස්ථානවලින් සිදුකළ යුතු තාක්ෂණික මුදාගැනීම් ඇතුළු සංකීර්ණ උස් ගොඩනැගිලි හදිසි අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් භට පිරිස්හි මෙහෙයුම් සූදානම, සම්බන්ධීකරණය සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බල පද්ධතියේ ඇති වූ වෝල්ටීයතා ඉහළ යාමක් හේතුවෙන් Stafford Tower හි 17 වන මහලේ කල්පිත ගිනිගැනීමක් සිදුවී, එම ගින්නෙන් ඇති වූ අධික විෂ සහිත දුමාරය යාබද මහල් වෙත පැතිර යන ආකාරයෙන් හදිසි අවස්ථාවක් අනුකරණය කරන ලදී. ගොඩනැගිල්ලේ ස්ථාපිත ගිනි හඳුනාගැනීමේ හා ගිනි මැඩපැවැත්වීමේ පද්ධති ක්‍රියාත්මක වුවද, බාහිර ගිනි නිවීම් සහාය අවශ්‍ය වන තත්ත්වයක් මෙහිදී අනුකරණය කරන ලදී.

මෙම අවස්ථාවට අනුව, විදුලි සැර වැදීම හේතුවෙන් 7 වන මහලේ කාර්මික ශිල්පීන් දෙදෙනෙකු සිරවී සිටින අතර, විෂ සහිත දුමාරය ආඝ්‍රාණය කිරීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බවට කල්පිත තත්ත්වයක් නිර්මාණය කරන ලදී. ගොඩනැගිල්ලේ හදිසි අවස්ථා ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් සේවය විසින් තාක්ෂණික මුදාගැනීම්, ගිනි නිවීම්, හදිසි වෛද්‍ය ඉවත් කිරීම් (CASEVAC) සහ පුද්ගලයින් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. වින්දිතයින් ආරක්ෂිතව මුදාගැනීම, කල්පිත ගින්න පාලනය කිරීම සහ සියලු පුද්ගලයින් නියමිත හදිසි රැස්වීම් ස්ථානය වෙත ආරක්ෂිතව යොමු කිරීම මෙම මෙහෙයුම්වල අරමුණ විය.

අභ්‍යාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් භට පිරිස් විසින් තාක්ෂණික සෙවීම් හා මුදාගැනීම්, ශ්වසන උපකරණ භාවිතයෙන් දුමාරය තුළ සිදුකරන මුදාගැනීම් (BA Smoke Diving), කඹ ආධාරයෙන් පහළට බැසීම (Rappelling) සහ වින්දිතයින් මුදාගැනීම, ගිනි නිවීම හා ගිනි මැඩපැවැත්වීම, හදිසි වෛද්‍ය ඉවත් කිරීම් (CASEVAC) සහ පුද්ගලයින් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. එමෙන්ම, ආරක්ෂක සීමා ස්ථාපිත කිරීම සහ සිද්ධියෙන් අනතුරුව සිදුකරන විමර්ශන කටයුතු සඳහා සහාය ලබාදීම ද සිදු කරන ලදී.

මෙම අභ්‍යාසය මගින් උස් ගොඩනැගිල්ලක ඇතිවන ගිනිගැනීමකදී වින්දිතයින් කාර්යක්ෂමව මුදාගැනීමට, හදිසි තත්ත්වය පාලනය කිරීමට සහ තුවාල ලැබූවන් ඇතුළු පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් භට පිරිස් සතු හැකියාව ප්‍රායෝගිකව පෙන්නුම් කරන ලදී.

මෙම ගිනි නිවීම් හා මුදාගැනීමේ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් සේවයේ සාමාජිකයින් 33 දෙනෙකු සහභාගී වූ අතර, උස් ගොඩනැගිලි ගිනි නිවීම, තාක්ෂණික මුදාගැනීම්, දුමාරය තුළ මුදාගැනීම් සහ තුවාල ලැබූවන් හදිසි ලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු හැකියාවන් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම අභ්‍යාසය ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතාගේ මඟපෙන්වීම යටතේ සහ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න ජයවික්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී. අභ්‍යාසයේ අණදෙන නිලධාරී ලෙස ස්කොඩ්‍රන් ලීඩර් ඒ්.ඒම්.සී.ජී අධිකාරි කටයුතු කළ අතර, රැප්පල් මාස්ටර් ලෙස 31782 බලබංති සැරයන් චතුරංග ජේ.ඒ.ඩී.ඒල්.ඒන් කටයුතු කරන ලදී.

මෙම අභ්‍යාසය සාර්ථකව පැවැත්වීම තුළින් සංකීර්ණ උස් ගොඩනැගිලි හදිසි අවස්ථාවන්ට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් හා මුදාගැනීම් සේවය සතු හැකියාව තවදුරටත් තහවුරු විය. මහා පරිමාණ හදිසි අවස්ථාවන්හිදී ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආයතන අතර මනා සම්බන්ධීකරණය, විශේෂිත මුදාගැනීමේ ශිල්පීය ක්‍රම, විධිමත් අණ හා පාලනය මෙන්ම තුවාල ලැබූවන් කඩිනමින් ඉවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය විය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි