ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 32 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරට අනුයුක්තව ස්ථාපිත අංක 07 හෙලිකොප්ටර් බලඝණය, වසර 32ක අභිමානවත් හා කැපවීමෙන් පිරි සේවා ඉතිහාසයක් සනිටුහන් කරමින් සිය 32 වන සංවත්සරය 2026 සැප්තැම්බර් මස 23 වන දින අභිමානවත් අයුරින් සමරන ලදී.

මෙම බලඝණය 1994 සැප්තැම්බර් මස 23 වන දින අංක 401 බලඝණය ලෙස ප්‍රථමයෙන් ස්ථාපිත කරන ලද අතර එවකට බෙල් -212 සහ බෙල්-206 වර්ගයේ හෙලිකොප්ටර් යානා මෙහෙයවමින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. 1996 මාර්තු මස 23 වන දින එය අංක 07 හෙලිකොප්ටර් බලඝණය ලෙස නැවත නම් කරන ලදී. එතැන් සිට මේ දක්වා ජාතික මෙහෙයුම්, මානුෂීය සහන කටයුතු හා පුහුණු කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින්, සිය අභිමානවත් ජනාධිපති වර්ණ ධජය රැකගනිමින් බලඝණය අඛණ්ඩව සිය සේවය ඉටු කර ඇත.

බලඝණයේ ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  හෙලිකොප්ටර් බලඝණය මෙහෙයුම් හැකියාවෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස කටයුතු කර ඇති අතර, භට පිරිස් ප්‍රවාහනය, තුවාලකරුවන් හා රෝගීන් ගුවන් මගින් කඩිනමින් ප්‍රවාහනය කිරීම, සැපයුම් සහය, සෙවීම් හා මුදාගැනීම්, ආපදා සහන මෙහෙයුම් මෙන්ම හෙලිකොප්ටර් නියමු පුහුණු කටයුතු ඇතුළු විවිධ මෙහෙයුම් රැසකට දායක වී ඇත. 2025 වසරේ අග භාගයේදී ඇති වූ දිත්වා සුළි කුණාටුවෙන් අනතුරුව ක්‍රියාත්මක කරන ලද ආපදා සහන හා මානුෂීය සහන මෙහෙයුම් සඳහා ද දායක වෙමින්, ජාතික සේවය වෙනුවෙන් වූ සිය අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කිරීමට බලඝණය සමත් විය.

සංවත්සරයට සමගාමීව බලඝණ පරිශ්‍රයේදී සම්ප්‍රදායික වැඩ පෙළපාලියක් පවත්වන ලදී. එය බලඝණ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හිරන්ත ද සිල්වා නිලධාරිතුමන්  විසින් පරීක්ෂා කරන  ලදී. එහිදී නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් අණදෙන නිලධාරීතුමන්  බලඝණයේ අභිමානවත් උරුමය සුරක්ෂිත කරමින් එහි අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් කැපවීමෙන් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කළ වර්තමාන මෙන්ම හිටපු සියලුම සාමාජිකයින් වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. බලඝණ සාමාජිකයින් වෙනුවෙන් සුහද හමුවක් ද සංවිධානය කර තිබූ අතර, එමගින් බලඝණයේ ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සැමරීම සඳහා සියලු දෙනාට එක්වීමට අවස්ථාව සලසා දෙන ලදී.

මෙවර සංවත්සර වැඩසටහනට බලඝණයේ ආයතනික සමාජ වගකීම් (CSR) පිළිබඳ කැපවීම පිළිබිඹු කරන වැඩසටහන් කිහිපයක් ද ඇතුළත් විය. ඒ අනුව, CSR වැඩසටහන් යටතේ බලඝණ සාමාජිකයින්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් හිඟුරක්ගොඩ, පී.එල්./විද්‍යාලෝක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන ලදී.

තවද, සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ රට වෙනුවෙන් සේවය කරමින් උත්තරීතර පරිත්‍යාගය සිදු කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදී.

අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ 32 වන සංවත්සරය, ජාතික ආරක්ෂාව, මානුෂීය සහන සේවා සහ හෙලිකොප්ටර් පුහුණු කටයුතු සඳහා එම බලඝණය ලබා දුන් සුවිශේෂී දායකත්වය පිළිබිඹු කරමින් වසර 32ක අභිමානවත් සේවා උරුමය සැමරීමක් බවට පත්විය. එමෙන්ම, රට වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක කැඳවීමකට ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටිමින් ජාතියට සේවය කිරීම සඳහා වූ සිය අඛණ්ඩ කැපවීම ද මෙහිදී යළිත් තහවුරු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි