ජාතික ජල පන්දු ශූරතාව යළිත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ජල පන්දු කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ජල පන්දු කණ්ඩායම 2026 ඔක්තෝබර් මස 18 වන දින රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ජාතික ජල පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ජල ක්‍රීඩා සමාජය ලකුණු 13–11ක් ලෙස පරාජයට පත් කරමින් වසර දෙකකට පසු නැවතත් ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 2026 ජාතික සහ කනිෂ්ඨ ජාතික ජල පන්දු ශූරතාවලිය 2026 ඔක්තෝබර් මස 16 වන දින සිට 18 වන දින දක්වා දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජල පන්දු කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

දැඩි තරගකාරීත්වයකින් යුතුව පැවති අවසන් මහා තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩකයින් සිය අධිෂ්ඨානය, උපක්‍රමශීලී ක්‍රීඩා විලාසය සහ සටන්කාමීත්වය මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. තරගය පුරා පැවති දැඩි පීඩනය හමුවේ නොසැලී ක්‍රීඩා කරමින් වසර දෙකකට පසු ජාතික ශූරතාව යළි දිනා ගැනීමට සමත් විය.

අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ප්‍රසංක මාර්ටිනෝ නිලධාරිතුමන් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් සම්පත් කුමාර සහ ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් මුණසිංහ යන නිලධාරීන් ද සහභාගී විය.

මෙම ජයග්‍රහණය තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම ජාතික මට්ටමින් ජල ක්‍රීඩා සංවර්ධනය සඳහා ලබාදෙන දායකත්වය ද මැනවින් පිළිබිඹු වේ. ගුවන් හමුදා පිරිමි ජල පන්දු කණ්ඩායමේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ තරගකාරී ක්‍රීඩා විලාසය තුළින් අත්කරගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තවදුරටත් ගෞරවයක් සහ අභිමානයක් එක් කිරීමට සමත්ව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි