ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී බෞද්ධ ආගමික වැඩසටහනක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධ ආගමික වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහභාගී විය.

2026 ඔක්තෝබර් මස 22 වන දින සන්ධ්‍යාවේදී ගුවන් හමුදාපතිතුමන් මල්වතු මහා විහාරය වෙත ගොස් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදී. එතුමන් අස්ගිරි මහා විහාරය වෙත ගොස් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදී.

ඉන් අනතුරුව ගුවන් හමුදාපතිතුමන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් උතුම් ශ්‍රී දළදා වහන්සේ උදෙසා ගිලන්පස පූජාවක් පවත්වා ආශීර්වාද ලබා ගන්නා ලදී. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහතා ද හමුවිය.

ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව පසුදින බෞද්ධ භික්ෂූන් වහන්සේ 75 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ ආගමික වැඩසටහනක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදී භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා අටපිරිකර පූජා කිරීම ද සිදු කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී ගුවන් හමුදාපතිතුමන් විසින් ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යොදවා ඇති ගිනි නිවීමේ කණ්ඩායම, ගිනි නිවීමේ රථ සහ උපකරණ ද පරීක්ෂාවට ලක් කරන ලදී.

මෙම බෞද්ධ ආගමික වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් ආගමික ආශීර්වාද පිරිනැමීම මෙන්ම දැනට සේවයේ නිරත ගුවන් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත් පැතීම ද මෙහිදී සිදු කරන ලදී.
 
මෙම අවස්ථාවට ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන්හි සාමාජිකයින් සහ දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී විය.

First Day

Second Day
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි