2026 වර්ෂයේ දෙවන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සාර්ථකව පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 23 වන වරට සංවිධානය කරන ලද ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුවේ 2026 වර්ෂයට අදාළ දෙවන කණ්ඩායමේ වැඩමුළුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 61 පියාසැරි ඒකකයේ දේශන ශාලාවේදී සාර්ථකව පැවැත්විය. 2026 ඔක්තෝබර් මස 19 වන දින සිට 23 වන දින දක්වා දින පහක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල සියල්ල නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 30 දෙනෙක් සහභාගී විය.

දින පහක් පුරා පැවති මෙම වැඩමුළුවේදී ගුවන් ගමන් ආරක්ෂණ කළමනාකරණ පද්ධති, ගුවන් සේවා කායික විද්‍යාව හා මනෝවිද්‍යාව, කුරුල්ලන් ගුවන් යානාවල ගැටීමේ අවදානම, ගුවන් යානා අනතුරු විමර්ශනය, ද්‍රව්‍යමය සාධක, මානව සාධක, ගුවන් යානා ගිනි නිවීම සහ ගුවන් ගමන් පාලන සේවාවන්ට අදාළ කරුණු ඇතුළු ගුවන් ගමන් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන විෂයයන් පිළිබඳව දැනුම ලබා දෙන ලදී. සුදුසුකම් ලත් සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත කථික මණ්ඩලයක් විසින් සියලුම දේශන පවත්වන ලදී.

වැඩමුළුවේ සමාරම්භක දේශනය ගුවන් ගමන් ආරක්ෂණ අධ්‍යක්ෂ වෙනුවෙන් විංග් කමාන්ඩර් එම්.බී.ජී.ටී. ඩයස් නිලධාරිතුමන්  විසින් පවත්වන ලදී.

සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් මස 23 වන දින පැවැත්විය. එම අවස්ථාවට ප්‍රධාන ගුවන් ගමන් ආරක්ෂණ පරීක්ෂක (පියාසර) විංග් කමාන්ඩර් එම්.බී.ජී.ටී. ඩයස් මහතා, ප්‍රධාන ගුවන් ගමන් ආරක්ෂණ පරීක්ෂක (ඉංජිනේරු) විංග් කමාන්ඩර් ආර්.ටී. ලියනාරච්චි මහතා, ගුවන් ගමන් ආරක්ෂණ පරීක්ෂක (ගුවන් ගමන් පාලනය) ස්කොඩ්‍රන් ලීඩර් ටී.ඒ.ඩී.එල්.ඕ.එම්. ජයතිස්ස මහතා, ගුවන් ගමන් ආරක්ෂණ පරීක්ෂක කාර්යාලයේ පරිපාලන නිලධාරී ෆ්ලයිට් ලුතිනන් ටී.ඒ.ඩී.එම්.කේ.ජී. තෙබුවන මහතා, ගුවන් ගමන් ආරක්ෂණ පරීක්ෂක කාර්යාලයේ භාරකාර බලලත් නිලධාරී 31103 බලලත් නිලධාරී ජී.ජේ.එස්.ආර්.බී.පී.එන්.ජේ. ප්‍රසාද් මහතා සහ වැඩමුළු සම්බන්ධීකාරක සැරයන් 43494 ඒ.ඒ.එස්. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි