ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ විවාහක නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස සහ විවාහක නිලධාරීන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියරේ පළමු පියවරෙහි වැඩකටයුතු 2026 ඔක්තෝබර් මස 24 වන දින සාර්ථකව නිම කරන ලදී. මෙම කටයුතු නිම කිරීම එදින පැවති ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට සමගාමීව සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීම මෙන්ම ඔවුන්ට වඩාත් සුවපහසු ජීවන පරිසරයක් උදාකර දීම සඳහා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මැතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ මහතාගේ නායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හේවාපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ දක්ෂ කාර්ය මණ්ඩලය විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීම සඳහා නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම මෙමඟින් පිළිබිඹු වේ.

පොදු සේවා නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නේවාසික ඒකක 10ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබූ අතර ඊට විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 08ක් සහ විවාහක නිලධාරීන්ගේ නිල නිවාස 02ක් ඇතුළත් විය. එම විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 08 අතරින් එක් නිවාස ඒකකයක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර විවාහක නිලධාරීන්ගේ නිල නිවාස 02 අතරින් එක් නිවාස ඒකකයක නිලධාරීන්ගේ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යනු ලබයි. මෙම නේවාසික ඒකක 10හිම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර ඇත.

පළමු අදියරට අමතරව කඳවුරේ අඩු වියදම් නිවාස ප්‍රදේශයේ (Low-Cost Area) පිහිටි විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 06ක ප්‍රතිසංස්කරණ කටයුතු ද සාර්ථකව නිම කර ඇති අතර එමඟින් කඳවුර තුළ වැඩිදියුණු කළ නේවාසික පහසුකම් තවදුරටත් පුළුල් කර ඇත.

දෙවන අදියරේ පළමු පියවර යටතේ විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 08ක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති අතර එම නිවාස ඒකක 08හිම වැඩකටයුතු මේ වන විට සම්පූර්ණයෙන් නිම කර ඇත. මෙය කඳවුරේ නේවාසික යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ තවත් වැදගත් ප්‍රගතියක් සනිටුහන් කරයි.

මෙම ව්‍යාපෘතියේ මීළඟ පියවර යටතේ අඩු වියදම් නිවාස ප්‍රදේශයේ පිහිටි විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 04ක් ඇතුළුව විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස 24ක් සහ 518 විවාහක නිලධාරීන්ගේ නිල මහල් නිවාස සංකීර්ණයේ පිහිටි විවාහක නිලධාරීන්ගේ නිල නිවාස 08ක් නුදුරු අනාගතයේදී ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නේවාසික පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් වඩාත් සුවපහසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලබයි.

පොදු සේවා නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කරයි. පවතින නේවාසික පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම තුළින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සහ පවුල්වල යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුර අඛණ්ඩව කටයුතු කරමින් සිටී.



Before Renovation

After Renovation
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි