ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් (Personal Staff Officers – PSOs) සඳහා සංවිධානය කරන ලද දෙදින පුහුණු වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 27 සහ 28 යන දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටි ‘ඉන්ෆිනිටි’ (Infinity) සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ උපදෙස් මත සහ ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. අදාළ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතා සහ තම රාජකාරි වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමේ හැකියාව වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම පුහුණු වැඩසටහන තුළින් සහභාගී වූ නිලධාරීන්ගේ නායකත්ව කුසලතා, සන්නිවේදන හැකියාව, අවස්ථානුකූල අවබෝධය, රාජ්‍යතාන්ත්‍රික හා නිල උත්සව සම්ප්‍රදායන් පිළිබඳ දැනුම, පරිපාලන සම්බන්ධීකරණය සහ වෘත්තීය හැසිරීම යන අංශයන්හි නිපුණතා වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි. පළපුරුදු සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් දැනුම හුවමාරු කර ගැනීමේ සැසිවාර සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මෙම පුහුණුව ලබා දුන් අතර එමඟින් තම වගකීම් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා ගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසිණි.


පුහුණු වැඩසටහන අවසානයේදී ලබාගත් දැනුම හා කුසලතා ප්‍රායෝගිකව රාජකාරි සඳහා යොදා ගනිමින් වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම, පරිපාලන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ රාජකාරි කටයුතු සඳහා සහාය වන පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සමස්ත කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි