මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ අතිශය අවදානම් මෙහෙයුමක් සාර්ථකව සිදු කරන ලදී
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම යටතේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය, මාස අටකට වැඩි කාලයක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සිවිල් වැසියන් තිදෙනෙකු මුදාගැනීම සඳහා 2026 ඔක්තෝබර් මස 19 වන දින අතිශය රහසිගත හා ඉහළ අවදානම් සහිත මෙහෙයුමක් සාර්ථකව සිදු කරමින් සිය වෘත්තීයභාවය, මෙහෙයුම් සූදානම සහ විශිෂ්ට කාර්යසාධනය යළිත් ප්‍රදර්ශනය කරන ලදී.

මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදු කළ ස්ථානය ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය පිහිටි බ්‍රියා (Bria) කඳවුරේ සිට නාවික සැතපුම් 210ක පමණ දුරකින් සහ ආසන්නතම එක්සත් ජාතීන්ගේ කඳවුරේ සිට නාවික සැතපුම් 60කට වැඩි දුරකින් පිහිටි, විවිධ සන්නද්ධ කණ්ඩායම්වල බලපෑමට යටත් අනාරක්ෂිත ප්‍රදේශයක පිහිටා තිබිණි.

මෙම මෙහෙයුම සඳහා Mi-17 හෙලිකොප්ටර් යානා තුනක්, ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයට අයත් ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම (Air Medical Evacuation Team – AMET), ඉහළ පෙළේ සාකච්ඡා කණ්ඩායමක් සහ පූර්ණ සටන් සූදානමකින් යුත් සන්නද්ධ භට පිරිස් 45කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නා ලදී. ඊට අමතරව, තුවාලකරුවන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා සූදානමින් Mi-8 සහ UH-60 හෙලිකොප්ටර් යානා දෙකක් මෙහෙයුම් ප්‍රදේශයෙන් බැහැර ස්ථාන දෙකක රඳවා තබන ලදී. මෙහෙයුමේ සංකීර්ණත්වය සහ රහස්‍යභාවය සැලකිල්ලට ගනිමින්, එය බලකා මූලස්ථානයේ ඉහළ බලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙහෙයුමට අදාළ තර්ජන විශ්ලේෂණය අනුව, මෙය කාල සංවේදීභාවය ඉහළ සහ අතිශය අවදානම් සහිත මෙහෙයුමක් ලෙස හඳුනාගෙන තිබිණි. සන්නද්ධ කණ්ඩායම් හෝ සතුරු ප්‍රාදේශීය පාර්ශ්වයන් විසින් සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පැවති බැවින්, සාකච්ඡා සහ මුදාගැනීමේ කටයුතු සඳහා මුලින් උපරිම වශයෙන් මිනිත්තු පහක කාලයක් පමණක් වෙන් කර තිබිණි. සාකච්ඡා පැවැත්වෙන ස්ථානයේ ගොඩබෑමේ ප්‍රදේශය එක් හෙලිකොප්ටර් යානයකට පමණක් ප්‍රමාණවත් වීම, අධික දූවිලි තත්ත්වය හේතුවෙන් ඇති වූ දෘශ්‍යතාව අඩුවීම සහ භූගෝලීය පිහිටීම හා සීමිත සන්නිවේදන පහසුකම් හේතුවෙන් සන්නිවේදන බාධා පැවතීම මෙහෙයුමේ සංකීර්ණත්වය තවදුරටත් ඉහළ නැංවීය.

සාකච්ඡා කණ්ඩායම, ආරක්ෂක භට පිරිස් සහ ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව අදාළ ස්ථානයට රැගෙන යාම සහ නැවත ඉවත් කිරීම තහවුරු කරන අතරම මෙහෙයුමේ විස්මිතභාවය ආරක්ෂා කර ගැනීම මෙහෙයුම් සැලැස්මේ ප්‍රධාන අරමුණ විය. මෙහෙයුමේ සංවේදීභාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ බලඇණි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසිරි පතිරගේ මහතා භූමි මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස පෞද්ගලිකව මෙහෙයුම අධීක්ෂණය කර සම්බන්ධීකරණය කරන ලදී.

මෙහෙයුම උදෑසන කාලයේදී ස්ථාන දෙකකින් ආරම්භ වූ අතර, මෙහෙයුම් රහස්‍යභාවය ආරක්ෂා කරමින් ගුවන් යානා තුනක් වෙනස් ගුවන් මාර්ග ඔස්සේ උපායමාර්ගික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ළඟා විය. සැලසුමට අනුව, ගුවන් යානා ගොඩබැස්වීමේ කටයුතු පාලිත ක්‍රමවේදයකට අනුව සිදු කරමින් සාකච්ඡා කණ්ඩායම පැමිණීමට පෙර ආරක්ෂිත පරිසරයක් ස්ථාපිත කරන ලදී.

පළමු හෙලිකොප්ටර් යානය වන ‘Rawana 1’ මඟින් සටන් සූදානමින් සිටි භට පිරිස් ගොඩබස්වා ගොඩබෑමේ ප්‍රදේශය සහ සාකච්ඡා පැවැත්වෙන ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලදී. අනතුරුව එම යානය ගුවනේ රැඳී සිටිමින් දෙවන හෙලිකොප්ටර් යානයට ගොඩබැසීමට අවස්ථාව සලසා දෙන අතරතුර අවශ්‍ය ගුවන් ආරක්ෂාව ද සපයන ලදී.
‘Rawana 3’ හෙලිකොප්ටර් යානය මෙහෙයුම් ස්ථානයේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් කලින් තීරණය කළ රැඳී සිටීමේ ස්ථානයක ගුවනේ රැඳී සිටි අතර, එහි සටන් සූදානමින් සිටි භට පිරිස් 20ක් රඳවා සිටියහ. අනපේක්ෂිත තර්ජන මතුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අතිරේක සහාය බලකායක් ලෙස සූදානමින් සිටි මෙම යානය, ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය සහ මෙහෙයුම් ස්ථානය අතර සන්නිවේදන සම්බන්ධීකරණ කටයුතු සඳහා ද දායක විය.

ගොඩබෑමේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව, තෙවන හෙලිකොප්ටර් යානය වන ‘Rawana 2’ මඟින් ඉහළ පෙළේ සාකච්ඡා කණ්ඩායම සහ ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම (AMET) අදාළ ස්ථානය වෙත රැගෙන යන ලදී. හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම පිටත්වීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා එම යානයේ එන්ජින් ක්‍රියාත්මක තත්ත්වයේ තබා තිබිණි. මේ අතර, ‘Rawana 1’ යානය සාකච්ඡා කණ්ඩායම සහ භූමියේ නවතා තිබූ හෙලිකොප්ටර් යානය සඳහා ගුවන් ආරක්ෂාව සපයන ලදී.

දැඩි සාකච්ඡා වටයකින් අනතුරුව ප්‍රාණ ඇපකරුවන් තිදෙනාම ආරක්ෂිතව මුදාගැනීමට කණ්ඩායම සමත් විය. අනතුරුව සාකච්ඡා කණ්ඩායම සහ මුදාගත් ප්‍රාණ ඇපකරුවන් භූමියේ රැඳී තිබූ හෙලිකොප්ටර් යානය මඟින් වහාම ඉවත් කරන ලදී. ඉන් අනතුරුව ‘Rawana 1’ යානය ගොඩබෑමේ ප්‍රදේශයේ භූමි ආරක්ෂාව සැපයූ භට පිරිස් ඉවත් කළ අතර, එම කටයුතු ‘Rawana 2’ යානයේ ගුවන් ආරක්ෂාව යටතේ සිදු කෙරිණි. හෙලිකොප්ටර් යානා තුනම කිසිදු අනතුරකින් තොරව කලින් තීරණය කර තිබූ ආරක්ෂිත ස්ථාන වෙත ළඟා විය. මුලින් මිනිත්තු පහකට සීමා කිරීමට අපේක්ෂා කළද, ආරක්ෂක හා ගුවන් මෙහෙයුම් සැලැස්මේ අඛණ්ඩ සහාය යටතේ සාකච්ඡා කණ්ඩායමට ගොඩබෑමේ ප්‍රදේශයේ මිනිත්තු 50ක පමණ කාලයක් රැඳී සිටීමට සිදු විය.

මෙම මෙහෙයුම සඳහා යොදාගත් Mi-17 හෙලිකොප්ටර් යානා තුනෙහි නියමුවන් ලෙස වින්ග් කමාන්ඩර් විකුම් මාපටුන, වින්ග් කමාන්ඩර් නිමේන්ද්‍ර ගුණවර්ධන සහ ස්කොඩ්‍රන් ලීඩර් අකිල වරුණගේ යන නිලධාරීහු කටයුතු කළහ. ඔවුන්ගේ සහාය නියමුවන් ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් ලහිරු චන්ද්‍රසේකර, ෆ්ලයිට් ලෙෆ්ටිනන් ලහිරු සකලසූරිය සහ ස්කොඩ්‍රන් ලීඩර් රණුක ප්‍රේමතිලක යන නිලධාරීහු කටයුතු කරන ලදී.

ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායමට ස්කොඩ්‍රන් ලීඩර් ලහිරු විජේතුංග, වොරන්ට් ඔෆිසර් ටී.එස්. හෙට්ටිආරච්චි සහ ෆ්ලයිට් සාජන් අත්තනායක කේ.ජී.එස්.එස්. යන නිලධාරීහු ඇතුළත් විය. භාණ්ඩ හා භට පිරිස් ප්‍රවාහන කටයුතු භාර (Load Masters) ලෙස ස්කොඩ්‍රන් ලීඩර් හිෂාන් ප්‍රසාද්, ස්කොඩ්‍රන් ලීඩර් දුමින්ද හේවගේ සහ ෆ්ලයිට් සාජන් මනෝජ් ඒ.ජී.ජී. කටයුතු කරන ලදී. ගුවන් තුවක්කුකරුවන් (Air Gunners) ලෙස කෝප්‍රල් විජේතුංග ඩබ්ලිව්.එම්.පී.කේ., කෝප්‍රල් කුමාර ඩබ්ලිව්.වී.එච්.සී.එල්, කෝප්‍රල් අබේසිංහ ජී.ඩී. සහ නායක ගුවන් භට සේමගේ බී.එම්.යූ.සී. යන සාමාජිකයෝ දායක විය.

ගුවන් යානය තුළ ස්ථානගත කර තිබූ ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම (AMET) වින්ග් කමාන්ඩර් බුද්ධික වනසිංහ, වොරන්ට් ඔෆිසර් ඩී.එම්. සුමතිපාල සහ ෆ්ලයිට් සාජන් රුවන් කුමාර කේ.පී.ඩී. යන සාමාජිකයින්ගෙන් සමන්විත විය. ඔවුන්ගේ සහභාගීත්වය තුළින් මෙහෙයුම සඳහා අතිරේක වෛද්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ද තහවුරු විය.

දුරස්ථ හා ඉහළ අවදානම් සහිත මෙහෙයුම් පරිසරයකදී භූමි තර්ජන, සීමිත ගොඩබෑමේ ඉඩකඩ, අධික දූවිලි තත්ත්වය සහ සන්නිවේදන බාධා වැනි අභියෝග රැසකට එකවර මුහුණ දෙමින් ගුවන් සේවා සහාය ලබාදීමේ සංකීර්ණත්වය මෙම මෙහෙයුම මඟින් මැනවින් පෙන්නුම් කරන ලදී. Mi-17 හෙලිකොප්ටර් යානා, ආරක්ෂක භට පිරිස්, සාකච්ඡා කණ්ඩායම සහ වෛද්‍ය විශේෂඥයින් අතර පැවැති මනා සම්බන්ධීකරණය තුළින් MINUSCA සාම සාධක මෙහෙයුම් වරම යටතේ පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ මෙහෙයුම් සූදානම සහ කැපවීම මනාව පිළිබිඹු විය.

2026 ඔක්තෝබර් මස 19 වන දින ක්‍රියාත්මක වූ මෙම අතිශය අවදානම් සහිත මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය පැය 18කට අධික ගුවන් මෙහෙයුම් කාලයක් වැය කරමින් MINUSCA මෙහෙයුම් වරම යටතේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ ධජය යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවයේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වෘත්තීයභාවය, විනය සහ කණ්ඩායම් හැඟීම මෙම මෙහෙයුම තුළින් ජාත්‍යන්තර මට්ටමින් යළිත් තහවුරු විය. එමෙන්ම, ඉහළ අවදානම් සහිත මෙහෙයුම්වලදී විධිමත් අවදානම් තක්සේරුවක්, පැහැදිලි අණදීමේ හා පාලන ක්‍රියාවලියක්, ඵලදායී ගුවන් හා භූමි සම්බන්ධීකරණයක් සහ ස්ථාපිත ගුවන් සේවා ආරක්ෂණ ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමේ වැදගත්කම ද මෙම මෙහෙයුම මඟින් අවධාරණය කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි