පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගන්නා ලදී
2026 ඔක්තෝබර් මස 23 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි වීර් සාවර්ක ක්‍රීඩා සංකීර්ණයේදී ප්‍රථම වරට පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතාවලිය 2026 සාර්ථකව පැවැත්විය.

අනාගතයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් ලෙස කබඩි ක්‍රීඩාව ඇතුළත් කිරීමේ අරමුණින් හඳුන්වාදීමේ තරගාවලියක් ලෙස සංවිධානය කරන ලද මෙම සුවිශේෂී ශූරතාවලිය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 13ක් සහ කාන්තා කණ්ඩායම් 10ක් සහභාගී විය.

මෙම ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් පස්දෙනෙකු සහභාගී විය. පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතාවලියකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට නියෝජනය කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා සහ නොසැලෙන අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම කැපීපෙනෙන ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

පිරිමි අංශය

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම අනුශූරතාව දිනා ගනිමින් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූ අතර එම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් සිව්දෙනෙකුගේ දායකත්වය හිමි විය.

•    කෝප්‍රල් රත්නායක ආර්.එම්.ඒ.එස්.
•    කෝප්‍රල් සමරකෝන් එස්.එම්.සී.ආර්. – ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක සහ තරගාවලියේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා.
•    නායක ගුවන් භට තිලකරත්න එම්.ටී.පී.සී.
•    නායක ගුවන් භට සුනිමල් ඩබ්ලිව්.ඒ.පී.එල්.

කාන්තා අංශය

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණි අතර, කෙන්යාව සමඟ තෙවන ස්ථානය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකුගේ දායකත්වය හිමි විය.

    කෝප්‍රල් බණ්ඩාර ඩී.ජී.එච්.කේ. – තරගාවලියේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව.
•    කෝප්‍රල් බණ්ඩාර එච්.ආර්.එස්.එස්.
•    නායක ගුවන් කාන්තා  රණසිංහ ආර්.එම්.එම්.කේ.
•    නායක ගුවන් කාන්තා  ගුණරත්න කේ.ඒ.ඒ.එස්.
•    නායක ගුවන් කාන්තා  ගොඩමුන්නේ යූ.ජී.එච්.කේ.

ජාත්‍යන්තර තලයේදී මෙවැනි විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා මාතාවටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් මහත් කීර්තියක් අත්කර දුන් ගුවන් හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාව උණුසුම් සුබපැතුම් පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි