නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී

Director Administration

එයාර් වයිස් මාර්ෂල් පී එන් ඩි කොස්තා
USP, MBA in HRM, MHRM, ndc 

එයාර් වයිස් මාර්ෂල් පද්මන් නිකලස් ද කොස්තා නිළධාරීතුමන් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පිළිවෙළින් ගම්පහ පරාක්‍රම විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හදාරා, 1993 අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 26 වන බඳවාගැනීමේ කැඩෙට් නිළධාරීයෙකු ලෙස සේවයට එක්විය. අනතුරුව 1995 අප්‍රේල් 17 වන දින පරිපාලන අංශයේ අධිකාරි ලත් නිළධාරීයෙකු ලෙස පත් කරන ලදී. 

2004 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති 17 වන කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේදී සියලු අංශවලින් විශිෂ්ටතම නිලධාරියා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, 2022 වසරේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවති ප්‍රථම ජාතික ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ වඩාත්ම විශිෂ්ට නිලධාරියා ලෙසද ඇගයීමට ලක් විය. 

එයාර් වයිස් මාර්ෂල් පද්මන් නිකලස් ද කොස්තා නිළධාරීතුමන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කුසලතා සාමාර්ථයක්සහිතව ශාස්ත්‍රපති උපාධියක්  ලබා ඇති අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ  ශාස්ත්‍රපති උපාධියක්ද, 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධියක්ද සම්පූර්ණ කර ඇත.
 
සිය දීර්ඝ සේවා කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී තිදෙනෙකු සඳහා පරිපාලන මාණ්ඩලික නිලධාරී ලෙසද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ ලේකම් ලෙසද, නියෝජ්‍ය විනයාරක්ෂාධිපති (Deputy Provost Marshal) සහ වැඩබලන විනයාරක්ෂක අධ්‍යක්ෂ (Acting Director Provost) ලෙසද ගුවන් හමුදා මූලස්ථානයේ තනතුරු දරා ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක මාණ්ඩලික නිලධාරී (ගුවන් හමුදා) සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර, පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් පද්මන් නිකලස් ද කොස්තා නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායමද නියෝජනය කර ඇති අතර, එම කණ්ඩායම ජාතික “A” කාණ්ඩයේ වොලිබෝල් ශූරතාව දිනා ගැනීමටත්, ජාතික සුපර් ලීග් වොලිබෝල් ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමටත් සමත් විය. වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් එතුමා ගුවන් හමුදා වර්ණ සහ ආරක්ෂක සේවා වර්ණ සම්මාන ලබා ඇති අතර, දැනට ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. 

එතුමා ගයාත්‍රි මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි