රාජකීය ගුවන් හමුදා ඇකඩමියෙන් උපහාර

කෙඩෙට් නිළධාරී කිත්සිරි බී.ඒ.ඞී.එච්.බී. විසින් එක්සත් රාජධානියේ ක‍්‍රෑස්වෙල්හි පිහිටි රාජකීය ගුවන් හමුදා විද්‍යාලයෙන් පිරිනමන 2010 වසරේ හොඳම අන්තර්ජාතික ශිෂ්‍යයාට හිමි සම්මානය ලබමින්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මහත් වූ අභිමානයක් එක් කරන ලදී.

මෙසේ සම්මානයට පාත‍්‍ර වූ කෙඩෙට් නිළධාරී කිත්සිරි හට රාජකීය ගුවන් හමුදාවේ මාණ්ඩලික නිළධාරී එයාර් චීෆ් මාර්ෂල් සයිමන් බ‍්‍රයන්ට් විසින් පසුගිය ජූලි මස 8 වන දා ගෞරවනීය අසිපතක් ප‍්‍රදානය කරන ලදී. මෙම සම්මානය ලැබීමට පෙර වසර පුරා පැවැත්වෙන පාඨමාලා හතරෙන්ම වැඩිම ලකුණු ලබා ගන්නා අන්තර්ජාතික ශිෂ්‍යයා විය යුතුය. මෙවර කෙඩෙට් නිළධාරී කිත්සිරි විසින් දක්වා ඇති දක්‍ෂතාවය පසුගිය වසර 12 පුරාවටම ශිෂ්‍යයෙකු විසින් දක්වා ඇති හොඳම දක්‍ෂතාවය වේ.

2009 වසරේ ජනවාරි 02 වනදා සිට අගෝස්තු 14 දක්වා වූ මාස 08 ක කාලය තුළ ක‍්‍රියාත්මක වූ මෙම පාඨමාලාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට අදාල අන්තර්ජාතික ශිෂ්‍යයන් 12 දෙනෙකු ඇතුළුව ශිෂ්‍යයන් 162 නෙකු විසින් හදාරන ලදී.  එහිදී හමුදා පුහුණුව, ගුවන් පරිපාලනය, නායකත්ව හැකියාවන් ද, විවිධ වූත් අත්‍යාවශ්‍ය වූත් ප‍්‍රායෝගික පුහුණුවීම් මෙන්ම ශාරීරික යෝග්‍යතා සහ විවිධ කී‍්‍රඩාවන්හි නියුක්ත වීමද සිදු කරන ලදී.

තවද, ගුවන් බලය පිළිබඳව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයෙන් සහ ගුවන් වෙඩිබලය පිළිබඳව ක‍්‍රෑස්වෙල්හි පිහිටි රාජකීය විද්‍යාලයෙන් ද දැනුම ලබා ගනිමින් තම හැකියාවන් පෙන්වීමේ අවස්ථාව මෙම ශිෂ්‍යයන්ට ලබා දී තිබිණි.

දැනට අංක 01 පියාසර නියමු පුහුණු පාසලේ තම පියාසර පුහුණුවීම් කටයුතු සිදුකරන කෙඩෙට් නිළධාරී කිත්සිරි එංගලන්තය බලා යාමට පෙර සහභාගීවූ දියතලාව කඳවුරේ පැවති 52 වන මූලික යුධ පුහුණුව පිළිබඳ කෙඩෙට් පාඨමාලාව සාර්ථකව නිමකරමින් හොඳම කෙඩෙට් නිළධාරියාට හිමි සම්මානයද දිනාගෙන තිබේ.

1987 අපේ‍්‍රල් මස 3 වන දින පොලිස් පරීක්‍ෂක කමල් කිත්සිරි හා ගයනි කුමාරි හට දාව උපත ලද මොහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් තම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන ලදී. පාසල් සමයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වූ කිත්සිරි ක‍්‍රීඩා , නර්තන හා නොයෙකුත් අංශයන්ගෙන් තම දක්‍ෂතාවයන් විදහා දක්වා ඇත. 2006 දී ජාතික ශිෂ්‍ය භට බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස කටයුතු කර ඇති අතර ඉන්දියානු ජාතික දින පෙළපාලියටද සහභාගී වූ අයෙකි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.